ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වෙන්නන්ට විශේෂ දැනුම්දීමක්..! ලියාපදිංචියේ දී ඔබ සැලකිලිමත් විය යුතුම දේවල් මෙන්න

Sri Lanka Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 16, 2022 01:23 PM GMT
Report

රටතුළ ඉන්ධන බෙදාහැරීම වඩාත් ප්‍රශස්තව සිදුකිරීමට ඉන්ධන පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුනවා දීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව http//fuelpass.gov.lkවෙබ් අඩවිය ඔස්සේ ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි විය යුතුයි.

එම වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට හිමි ඉන්ධන අවසරපත ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම අද (16) සිට ජනතාවට විවෘතව පවතිනවා.

මෙහිදී පාරිභෝගිකයින්ට තම ජාතික හැඳුනුම්පත් අංකය, විදෙස් ගමන් බලපත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය භාවිතා කර තම වාහනය ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි කළ හැකියි.

භාෂා ත්‍රිත්වයෙන්ම ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබෙනවා. මෙම නව ක්‍රමවේදය තුළින් රට පුරා ඉන්ධන බෙදාහැරීම වඩාත් විධිමත්ව හා සාධාරණව සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) ඉන්ධන බෙදාහැරීම කළමනාකරණය සඳහා නව මෘදුකාංගයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, “රජය කළ ඇණවුම් අනුව ඊයේ ලංකාවට ඩීසල් නෞකාවක් ළඟා වූ අතර අද රාත්‍රියේ තවත් නෞකාවක් පැමිණීමට නියමිතයි. එම නෞකාවන්හි ඉන්ධන පිළිබඳ ප්‍රමිතිය නිර්ණය කළ පසුව ගොඩබෑමේ කටයුතු සිදු කරනවා.

එමෙන්ම ඉදිරි 18 හෝ 19 දින පෙට්‍රල් නෞකාවක්ද ලංකාවට පැමිණීමට නියමිතයි. ඊට අමතරව රජය තවත් පෙට්‍රල් නෞකාවකට ගෙවීම් කර ඇති අතර එම නෞකාවද 22 හෝ 23 දින ලංකාවට ළඟා වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා."

මේ අයුරින් මේ වන විට ලංකාවට ලැබී ඇති හා ඉදිරියේදී ඇණවුම් කර ගෙන්වා ගැනීමට අපේක්ෂිත ඉන්ධන බෙදාහැරීම නිවැරදිව කළමනාකරණය කර සාධාරණ ක්‍රමවේදයක් තුළින් ජනතාවට ලබාදීමට ජාතික ඉන්ධන අවසරපත් සඳහා පාරිභෝගිකයින් ලියාපදිංචි කිරීම අද ආරම්භ කරනවා.

http//fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිස ඉන්ධන පාරිභෝගිකයින්ට ලියාපදිංචි වීමට පිළිවන. මේ සඳහා තම ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රය එසේ නැත්නම් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකය භාවිතා කළ යුතුයි.

එසේ ලියාපදිංචි වීමේදී නම, ලිපිනය, දුරකථන අංකය හා විශේෂයෙන්ම වාහන අංකය යන තොරතුරු ලබාදිය යුුතු වෙනවා. එක් තැනැත්තකුට ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණයි.

ඒ අනුව එක් ලියාපදිංචි වීමකට අදාළව එම වාහනයට අනන්‍ය වන QR Code එකක් ලබාදෙනවා. මේ මගින් එකම වාහනයක් දෙවරක් ලියාපදිංචි වීම වැළකෙනවා. එම QR Code එක ඉන්ධනහල වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ වාහනයට හිමි ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කටයුතු කරනු ඇති.

" "වාහනයේ අග අංකයට අනුව ඒ ඒ වාහන සඳහා ඉන්ධන ලබාදීමේ දින ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම වාහන සඳහා ලබාදිය හැකි ඉන්ධන ප්‍රමාණයද ප්‍රකාශයට පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නව ක්‍රමවේදය සම්බන්ධව ඉන්ධන හල් සේවකයන්, ආරක්ෂක අංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදී අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට අප කටයුතු කරනවා.

මෙය නව ක්‍රමවේදයක් නිසා ක්‍රියාත්මක කිරීමේ මුල් දිනවලදී යම් ප්‍රායෝගික ගැටලු ඇතිවිය හැකියි. නමුත් එම ගැටලු මගහරවාගෙන මෙම ක්‍රමය සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා."

මේ සඳහා ලියාපදිංචි වීම අද සිට ජනතාවට විවෘත කෙරෙන නමුත් සියලු පාරිභෝගිකයින් එකවර ලියාපදිංචියට යොමු වුවහොත් බාධා ඇතිවිය හැකි නිසා ඉදිරි දින කිහිපයේද මේ සඳහා ලියාපදිංචි විය හැකි බවයි අමාත්‍යවරයා කියාසිටියේ. 

එමෙන්ම විදුලි ජනන යන්ත්‍ර භාවිතා කරන කර්මාන්තකරුවන්ට ප්‍රාදේශීය කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ මේ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now