රට යන අයට සුබ ආරංචියක්..අලුත් වැඩක් කරන්න යයි..

Sri Lanka
By Aruna Feb 14, 2023 12:06 AM GMT
Report

ඕමානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ඇතිවන කාර්යපටිපාටිමය ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස, විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසට, එරට සිටින ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටි අතර, ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බවට ඇමැතිවරයා සහතික විය.

ඕමානයේ සිව් දින නිල සංචාරයක නිරත ව සිටින අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේ දී ඇමැතිවරයා මෙම සහතිකය ලබා දුන්නේය.

ශ්‍රමිකයන් බඳවා ගැනීමේ දී ගත යුතු අනුමැතීන් ලබාගැනීමට විශාල දුරක් ගෙවා තානාපති කාර්යාලයට පුද්ගලිකව පැමිණිමට සිදුවන බවත්, එයට විශාල කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත්, ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ආයතන ප්‍රධානීහු ඇමැතිවරයාට පෙන්වා දුන්හ.

මේ අතරම තානාපති කාර්යාලයේ පවතින නිලධාරී හිඟය නිසා ද අනුමැතීන් ලබාගැනීමේ කටයුතුවලට අමතර කාලයක් වැය කිරීමට සිදුව ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

එයට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ විදේශ රැකියා ක්ෂේත්‍රය කඩිනමින් ඩිජිටල් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ දී දුරස්ථ ක්‍රමයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව පමණක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද මෙහි දී එකඟතාවයකට පැමිණියේය.

සංචාරක වීසා මගින් ඕමානයේ ගෘහ සේවයට කාන්තා ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නිසා ඇතිවී තිබෙන ගැටලු සහ ඕමානයේ ශ්‍රමිකයන් බඳවා ගන්නා ආයතන නියෝජිතයන් මුහුණදී තිබෙන ගැටලු සඳහා දිය හැකි විසඳුම් පිළිබඳ ව ද මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now