"..මාව මහණ කරනවා කිව්වා.." අතුරුදන්වූ එප්පාවල දරුවා පොලීසිය හමුවේ සියල්ල හෙළිකරයි..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 24, 2022 08:55 AM GMT
Report

අද දින (24) එප්පාවල ප්‍රදේශයේ දී දින කිහිපයකට පෙර අතුරුදන්වූ නම හැවිරිදි දරුවා රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ වතු යායක නිවසක සිටියදී පොලිසිය සොයා ගත්තා.

පොලීසිය සඳහන් කළේ දරුවා රැගෙන ගිය බව පැවසෙන සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.  එප්පාවල කිරලෝගම ගැටදිවුල ප්‍රදේශයේ 9 හැවිරිදි පිරිමි දරුවෙකු පසුගිය 19 වනදා සිට එලෙස අතුරුදන්වී සිටිය .

එම දරුවාගේ මව සඳහන් කළේ නිවසට ආගිය පුද්ගලයෙකු විසින් දරුවා රැගෙන ගොස් තිබූ බවය. ඒ අනුව පවුලේ ඥාතීන් එප්පාවල පොලීසියට කළ දැනුම්දීමත් සමග අදාළ දරුවා සොයා පරීක්ෂණ ආරම්භ කෙරුණි.

එහිදී මූලික විමර්ශනවලදී අනාවරණය වූයේ නිවසට ආගිය විදුලි කාර්මික ශිල්පියෙකු බව පැවසෙන අදාළ සැකකරුගේ මාතලේ සහ උකුවෙල ප්‍රදේශයේ ඥාති නිවෙස් කිහිපයකට දරුවා රැගෙන ගොස් ඇති බවය.

ඒ අනුව පොලීසිය සිදුකළ අඛණ්ඩ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස එම දරුවා රිකිල්ලගස්කඩ ජෝන්ස්ලන් වතුයායේ නිවසක සිටියදී එප්පාවල පොලීසියේ නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

එහිදී දරුවා රැගෙන ගිය බව පැවසෙන විදුලි කාර්මික ශිල්පියා ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් දෙදෙනාට නවාතැන් ලබාදුන් විදුලි කාර්මික ශිල්පියාගේ ඥාතියෙකු බව පැවසෙන පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සිසුවා සැකකරු සමග සිය කැමැත්තෙන් ගොස් ඇති බවට ද සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය. වැඩිදුර විමර්ශන සඳහා දරුවා සහ අදාළ සැකකාර විදුලි කාර්මික ශිල්පියා අද (24) පෙරවරුවේ එප්පාවල පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබීය.

එහිදී පොලීසිය විසින් දරුවාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණි. 

පොලීසිය - "ඔයත් එක්ක ගිය මාමා කොච්චර කල් ඉඳලා අඳුනනවාද ?"

දරුවා - "මාස දෙකක් විතර."

පොලීසිය - "ඉස්කොලේ පන්ති යන්නේ මාමා එක්කද ?"

දරුවා - "ළඟකදී ඉඳලා ඉස්කෝලේ පන්ති එහෙම ගියා මාමා එක්ක."

පොලීසිය - "මාමා එකක් කඩේ නැවතිලා එහෙමත් හිටියා ද ?" 

 දරුවා - "දවස් දෙකයි. තාත්තා එදා එනවා කිව්වා.. ඒ නිසා මම කිව්වා යන්න බෑ කියලා."

පොලීසිය - "ඇයි තාත්තා එන නිසා යන්න බෑ කිව්වේ?"

දරුවා - "එතකොට තාත්තා එක්කරන් ගිහින් මාව මහණ කරනවා කිව්වා."

පොලීසිය - "ඒ නිසා මාමාට කිව්වද එක්කන් යන්න කියලා ?" 

 දරුවා - "ඔව්."

පොලීසිය - "ටියුෂන් පන්ති කියලා පුතා ගෙදර ගියා නේද මාමා එක්ක. ඊට පස්සේ මොකද වුණේ?"

දරුවා - "මාමා ගියාට පස්සේ මමත් ගියා මාමා එකක් එයා පාස්සේ. එයා කිව්වා ගෙදර යන්න කියලා. මම බෑ කියලා අවේ." 

 එම දරුවා අද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකාර විදුලි කාර්මික ශිල්පියා තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now