පලාත් 03ක ජනතාව එන ප්‍රධාන රෝහලක් ගැන කනගාටුදායක ආරංචියක්..

Ministry of Health Sri Lanka Sri Lanka Podujana Peramuna Janatha Vimukthi Peramuna Samagi Jana Balawegaya National Health Service
By Aruna Feb 29, 2024 03:23 AM GMT
Report

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් සැත්කම් සිදු කිරීමට බාධා මතුව තිබෙන බව වාර්තා වනවා.

සබරගමු දකුණ හා ඌව පළාත්වල ගම්මාන රැසක ජනතාව දෛනිකව මේ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙනු ඇති අතර නේවාසිකව ද විශාල පිරිසක් ප්‍රතිකාර ලබන ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල වාට්ටු 13කින් සමන්විතවේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වරුණ සම්පත් බණ්ඩාර මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් දිනකට ශෛල්‍යකර්ම 20ක් පමණ සිදු කෙරෙන බවයි.

නමුත් දැන් දින කිහිපයක සිට නිර්වින්දන වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා මේ දිනවල සිදු කරන්නේ සුළු ශෛල්‍යකර්ම පමණක් බවයි රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඇඹිලිපිටිය මහ රෝහලේ, දැනට උද්ගතවී ඇති ප්‍රශ්නය පමණක් නොව, වසර ගණනාවක් තිස්සේ විවිධ අර්බුධ ගැටලු පවතින බවයි එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කර සිටින්නේ.

හිටපු සෞඛ්‍ය ඇමතිවරුන් ඇතුලු පාර්ලිමේන්තුවේ ප්‍රබල පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්,ඇමතිවරුන් නියෝජනය කරන දිස්ත්‍රික්කයක පවතින ප්‍රධාන රෝහලකට අත්වූ ඉරණම ගැන ජනතාව කාට කියන්න ද?

ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වී තම ප්‍රදේශය නියෝජනය කරන ජනතාවට කාලයක් තිස්සේ අත්වූ මෙම අපහසුතාවයන් ගැන කතා නොකරන ආණ්ඩුපක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කුමට ද?

පලාත් 03ක විශාල ජන සංඛ්‍යාවක් පහසුකම් ලබන ඇඹිලිපිටිය මහ රෝහලේ මෙම ප්‍රශ්ණය කඩිනමින් විසදීමට කටයුතු කිරීම අදාල බලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් බව ඔවුන්ට වැටහෙන්නේ කවදා ද?

මෙම ප්‍රධාන ගැටලුවක් වූ සෞඛ්‍ය ප්‍රශ්නයට විසදුමක් කඩිනමින් ලැබෙන තෙක් ජනතාව අසරණව බලාසිටී.