විදුලි බිලත් වෙනස් වෙයි.. අලුත් විදිය මෙන්න..

Sri Lanka Ceylon Electricity Board
By Aruna Jul 10, 2022 12:14 AM GMT
Report

මුද්‍රිත බිල්පත් සඳහා වැයවන මුදල අවම කර ගැනීම සඳහා මෙතෙක් විදුලි බිල්පත් නිකුත්කළ ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී පාරිභෝගිකයන් වෙත මාසික විදුලි බිල්පත් නිකුත්කිරීමේදී තාප කඩදාසි භාවිතයෙන් මුද්‍රිත බිල්පත් නිකුත්කිරීම (thermal printed bills) කිසියම් ආකාරයක භෞතික බිල්පතක් බලාපොරොත්තු වන පාරිභෝගිකයන් ඇත්නම් ඔවුන් වෙත මාසික මනු කියවීමේදී මෙම බිල්පතක් නිකුත් කෙරෙයි.

කෙටි පණිවිඩ මගින් (SMS) මාසික මනු කියවීමෙන් පසු ලංවීම සමග ලියාපදිංචි කර ඇති දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) මගින් මාසික විදුලි බිල්පත එවීමට කටයුතු කරනු ඇත.

මේ සඳහා ලියාපදිංචි වීමට මනු කියවීම සඳහා ඔබ පරිශ්‍රය වෙත පැමිණෙන ලංවීම නියෝජිතයාගේ සහයෝගය ලබාගත හැකි බව මණ්ඩලය කියයි.

නැතහොත් ‘REG<හිස්තැනක්>අංක දහයකින් යුක්ත විදුලි ගිණුම් අංකය’ යොදා 1987 වෙත කෙටි පණිවිඩයක් යොමුකිරීම මගින් ඔබටම ලියාපදිංචි විය හැකිය.

CEBCare ජංගම දුරකථන යෙදුම – CEBCare සුහුරු ජංගම දුරකථන වැඩසටහන භාවිතයෙන් ද මාසික මනු කියවීමෙන් පසුව බිල්පත ලබා ගැනීමේ පහසුකම සපයා ඇත.

වඩාත් කාර්යක්‍ෂම වූ පාරිභෝගික සේවාවක් සැපයීම මෙන්ම ආයතනික කටයුතු පරිගණක ගත කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක ‘CEB Assist’ වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් ලෙස මෙම බිල්පත් නිකුත්කිරීමේ නව ක්‍රමවේද ත්‍රිත්වය හඳුන්වා දෙන ලද අතර බිල්පත් යොමුකිරීමේ සිව්වන ක්‍රමවේදය ලෙස විiුත් තැපැල් මගින්, ඊ-බිල්පත් නිකුත්කිරීම ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික සැකසුම් කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී.

මෙම නව ක්‍රමවේද වෙත යොමුවීම කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීමට පමණක් නොව, මුද්‍රිත බිල්පත් සඳහා වැයවන වියදම ඉහළ ගොස් ඇති පසුබිමක වසරකට රුපියල් බිලියනයකට අධික මුදලක් ඉතිරි කර දීමටද දායකවීමක් බව ද මණ්ඩලය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now