මැතිවරණය පැවැත්වීම ගැන කොමිසමෙන් ගත් දැඩි තීරණය..!

Election Commission of Sri Lanka Sri Lanka
By Sewvandhi Feb 18, 2023 07:56 AM GMT
Report

මැතිවරණ කොමිසම, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දීමට තීරණය කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සදහන් කලේ, මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව එහිදී ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කරන බවයි.

එසේම මුද්‍රණාලය මගින් මුද්‍රණ කටයුතු ප්‍රමාද කිරීම, ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්ධන ප්‍රමාණවත්ව ලබානොදීම, පොලීසිය මුද්‍රණාලයට ආරක්ෂාව ලබානොදීම ඇතුළු කරුණු ද අදාළ මෝසම මගින් දැනුවත් කරන බව නිමල් ජී. පුංචිහේවා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදී තිබුණ ද එම කාර්යය ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් තම කොමිසම විසින් සිදුකළ යුතු බව ඔහුද සඳහන් කළේය.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ලබාදීම මේ මොහොතේ දුෂ්කර කටයුත්තක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඊයේ (17) සඳහන් කර තිබුණි. රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මියද සඳහන් කළේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය ආරක්ෂාව නොමැතිවීම හේතුවෙන් එම කටයුතු ද මේ වනවිට ඇණහිට ඇති බවය.

එවැනි පසුබිමක එළඹෙන පෙබරවාරි 22, 23, 24 හා 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද විමසීමද දින නියමයකින් තොරව කල්දැමීමට මැතිවරණ කොමිසමට සිදුවූ අතර ඡන්ද විමසීම පැවැත්වීමට එරෙහිව ආණ්ඩුව විවිධ බාධා පමුණුවන බව පවසමින් අද (17) ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ලබානොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බැවින් ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ද පැවසීය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now