තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹෙයි..ඡන්දය දාන්න පුළුවන් පිරිස මෙන්න.

Election Commission of Sri Lanka Sri Lanka
By Aruna Jan 05, 2023 01:42 AM GMT
Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනයද මේ වන විට නිවේදනය කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, අද සිට ලබන 23වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත් භාර ගන්නා බවයි.

එම දිනය නැවත කිසිසේත් දීර්ඝ නොකරන බවද ඔහු පැවසුවා.

ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචිව සිටින හා ඡන්ද විමසීම් රාජකාරී සඳහා යෙදවීමට නියමිත සියලු රාජ්‍ය නිළධාරීන්, සේවකයින්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් තමාට වෙන් කරන ලද ඡන්ද පොළේදී ඡන්දය දීමට නොහැකි වන බව හෝ එසේ වීමට ඇති අපේක්ෂකයන් තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබනවා.

එමෙන්ම එම පළාත්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිළධාරීන් හා සේවකයින්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හා සේවකයින්, දුම්රිය සේවා පවත්වාගෙන යන පිරිස අත්‍යාවශ්‍ය වන දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ සේවකයින්ද එම පිරිසට අයත්.

ඊට අමතරව දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂික කටයුතුවල නිරත වන ත්‍රිවිධ හමුදා, පොලිස් සහ ආරක්ෂක සේවයේ යොදවා ඇති සිවිල් ආරක්ෂික බලකා සාමාජික සාමාජිකාවන්ද තැපැල් ඡන්ද දීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.

ඡන්දය දීමට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා වූ තොරතුරු ඔවුන් විසින් 2022 පළාත් පාලන ආයතන ඡන්දය හිමි නාමලේඛනයෙන් නිවැරදිව ලබා ගත යුතු වනවා.

සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ලිකව පරීක්ෂාකර ඉල්ලුම්කරුගේ අනන්‍යතාවය පිළිබඳ නිසැකව සහතික කළ යුතු බවත්, සහතික කරනු ලැබූ අයදුම්පත් අයදුම්කරුවන්, ඡන්ද හිමියන් වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිළධාරී වෙත ජනවාරි 20 දින හෝ ඊට පෙර යැවිය යුතුයි.

නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now