ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා..ඩලස්ගෙන් හදිසීයේම නිවේදනයක්..!

Parliament of Sri Lanka Dullas Alahapperuma Sri Lanka Politician Sri Lanka
By Sewvandhi Jul 15, 2022 10:10 AM GMT
Report

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ, ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැදවන අවස්ථාවේ දී තමන් ජනාධිපතිවරණයට තරඟ කරන බව යි.

අදාළ නිවේදනය පහතින්,

අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයින් ගේ රැස්වීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලද අතර ඔහුගේ ඉදිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා ව්‍යවස්ථානූකූලව පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයා තොරාපත් කරගත යුතු බව ඔබ දැනටමත් දන්නා කරුණකි.

ශ්‍රී ලාංකේය ජනතාව ඉතිහාසයේ පෙර අත්නොදුටු දේශපාලන, ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගතකරමින් සිටී. ආර්ථික අර්බුදයක් ඔස්සේ පැන නැඟුණු ජනතා විරෝධය දේශපාලන බලඅධිකාරීන් බිඳ දමන්නට සමත් වී ඇත.

ඒ හේතුවෙන්ම මේ වනවිට ජනතා අපේක්ෂාවන් ගේ දිශානතිය වෙනස් වී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව මම තරයේ විශ්වාස කරමි. කුඩා පාසල් දරුවාගේ සිට විශ්‍රාමික වැඩිහිටියා දක්වා පවතින අර්බුදවලට තිරසාර විසඳුමක් ලබාගැනීමේ නොනිත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානූකූල දේශපාලන රාමුවක් තුළය. දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරතවී ඇති මා සෑමවිටම මෙරට ජනතාවගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි. වත්මනෙහි පවතින දේශපාලන ව්‍යාකූලත්වයන් පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳාගත යුතු බව අවිවාදිත සත්‍යයකි.

පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් අප සියලුදෙනා එකඟ වන ආර්ථික සැලසුමක් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුවේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මහා සංඝරත්නය ප්‍රමුඛ සහෝදර ආගමික නායකයන්, තරුණ දේශපාලන ක්‍රියාකාරීන් ගේ සහ වෘත්තීයවේදීන් ගේ සහාය ලබාගත යුතුය.මා ඔවුන් සියලුදෙනාගේම සහාය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බව සහතික කර කිව හැකිය.

දේශපාලන පාට කණ්ණාඩිවලින් බැහැරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සුදානම් බව මම මෙරට ජනතාවට ගෞරවයෙන් දන්වා සිටින අතර ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහාය ද අපේක්ෂා කරමි.

නීතියේ ආධිපත්‍යය හා ජාතීන් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී 15. 07. 2022

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now