ශ්‍රී ලංකාව බංකොලොත් ලැයිස්තුවෙන් ඉවත් වෙයි..ඩොලර් බිලියන 7 ක් ලංකාවට එන බව දැනුම්දෙයි..

Dollar to Sri Lankan Rupee Ranil Wickremesinghe Sri Lanka IMF Sri Lanka Economy of Sri Lanka
By Aruna Mar 21, 2023 02:52 AM GMT
Report

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 03 කට ආසන්න විස්තීරණ අරමුදල් පහසුකමක් ලබාදීම සිය විධායක මණ්ඩලය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

එම මූල්‍ය පහසුකමට මාස 48 ක කාල රාමුවක් අදාළ වන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව පළමු ණය වාරිකය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 333 ක මුදලක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබා ගැනීමට හැකිවනු ඇති.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම හා මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කිරීම මෙම අරමුදල් පහසුකම මගින් හැකිවනු ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළා.

මෙම ණය පහසුකම අනුමත වීම මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවික සංවිධාන මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා මූල්‍ය පහුසකම් ලබාගැනීමේ අවස්ථාව සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළඹුණේ පසුගිය වසරේ සැප්තැම්බර් 01 වනදායි.

එතැන් සිට මෙරට ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ශවකරුවන් යාවත්කාලීන කිරීමට විනිවිදභාවයෙන් තොරතුරු බෙදා ගැනීමට මෙන්ම වාණිජ ණය හිමියන් සමග සම්බන්ධ වීම සඳහා නිල ණය හිමියන්ගේ රැස්වීම් පැවැත්වීමට රජය කටයුතු කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතියෙන් පසුව මෙම වැඩසටහන යටතේ පළමු වාරිකය ලබාදීම ඉදිරි දිනවලදී සිදුවනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අනුමැතිය හිමිවීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග සිදුකරන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල්‍ය කළමනාකරණය සහ ඉලක්ක ගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තුළින් තිරසාර මට්ටමක් ලගාකර ගැනීමටත් කැපවී සිටින බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා අයි එම් එෆ් වැඩසටහන ඉතා වැදගත් වන අතර එය ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බවට පත් කරමින් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපල තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම හිමිවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළා.

මෙරට වේලාවෙන් අද උදෑසන පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ නිලධාරීන්ගේ මාධ්‍ය හමුවේදී මෙම ණය වැඩසටහන පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු අනාවරණ කෙරෙනු ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම අනුමතවීමත් සමග ශ්‍රී ලංකාවේ බංකොලොත්භාවය අහෝසි වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.