අමාත්‍යවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු බෙදීම ගැන විශේෂ තීරණයක්..

Government Employee Sri Lanka Government Latest Headlines
By Sewvandhi Mar 10, 2024 09:18 AM GMT
Report

අමාත්‍යවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

එනම් වාර්තා වන පරිදි, රජයේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පුද්ගලයින් පත් කිරීමේ දී හා එම ආයතනවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පවරීමෙදේ විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන් හා ඥාතීන් හට ඒවා ලබාදීම වළක්වාලන ප්‍රතිපාදන ඇතුලත්ව අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, පළාත් පාලන ආයතන තුළ සිටින සේවකයින් ස්ථීර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද මේ වනවිට ලැබී ඇති බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව, පළාත් පාලන ආයතන වල සේවකයින් 8,400ක් ස්ථීර කිරීමට නියමිතව තිබේ. මේ අතර, පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරණ නිලධාරියෙකු විසින් කරනු ලබන ඉල්ලීමක් අනුව මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීමට හැකි වන පරිදි 2020 වර්ෂයේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

කොන්දේසී කිහිපයකට යටත්ව පත්වීම් බලධාරියෙකු විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදීමට එම චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත. කෙසේවෙතත් වහාම ක්‍රියාත්මක වන පරිදි 2020 වර්ෂයේ ජනවාරි මස 30 වන දින නිකුත් කර ඇති එම චක්‍රලේඛය අවලංගු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.