24 වෙනිදා රටටම තීරණාත්මක දිනයක්.. මහින්ද ගත්ත තීරණය වෙනස් කළේ ඇයි..
මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනාවක් එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාදැයි පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අප අහනවා.
මිනිස්සුන්ගේ ඔළුවට තව තවත් බරක් දෙන වැඩකට අත උස්සන්න පුළුවන් කාටද ?
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා බලාගන්න පුළුවන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
විදුලි බිල වැඩිවන්නේ මහජන උපයෝගිතා කොමිසම මගින් කරුණු ගණනාවක් මත ගණනය කිරීම් කර සකසන යෝජනාවලියක් අනුවයි.
නමුත් අවුරුදු 7 ක් තිස්සේ මේ ක්‍රමය ක්‍රියාත්මක වුණේ නෑ.
හේතුව, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණා නොරෙච්චෝලේ බලාගාරය හැදුවාම සියයට 25 ක් විදුලි බිල අඩු කරනවා කියලා. ඒ අනුවයි එදා විදුලි බිල අඩුවුණේ.
ඒත් බලාගාරයක් හදන්න තමන් මූලික වුණ පලියට විදුලි බිල අඩුකරනවා කියලා කවුරු හරි දේශපාලන නායකයෙක් කීවයි කියන්නේ ඒක හරියට ඡන්ද පොරොන්දුවක් වගේ.
අන්තිමට වුණේ මොකක්ද? සියයට 25 ක් අඩු කරපු එක සියයට 75 ක් විතර වැඩිකරන්න වුණු එකයි. ඒකට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ වුණා.
ඔවුන් කීවේ මෙච්චර වැඩිකරන්න එපා කියලා. වැඩිකළ යුතු ගණනට අදාළ නිර්දේශ ඔවුන් දුන්නා. ඒත් අමාත්‍යවරයාට වුවමනා විදිහට සියයට 75 කින් විදුලි බිල වැඩිකළා.
ආපහු සියයට 66 කින් වැඩිකළා. මේ සියල්ල උපයෝගිතා කොමිසමට පිටින් ගිය දේවල්. අ.පො.ස. උසස් පෙළ විභාග කාලේ විදුලිය කපන්න එපා කියලා කොමිසම කීවාම ඒක පිළිගත්තෙත් නෑ.
ළමයි විභාගයට පාඩම් කළේ කුප්පි ලාම්පු එළියෙන්. ඒක මොන තරම් අසාධාරණයක්ද ? දැන් ඇමති සියයට තුනකින් විදුලි බිල අඩුකරන්න හදනවා.
ඒත් සියයට 30 කින් අඩුකරන්න පුළුවන් කියලා උපයෝගිතා කොමිසම කියනවා. මේ ඇමති ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගේ විදුලි බිල සියයට 250 කින් වැඩිකළා.
ඒ එයාගෙ තනි තීන්දු දැන් ඒක බේරගන්න කටයුතු කළ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව එළවන්න හදනවා.
ඒක හරියට ශිරාණි බණ්ඩාරනායක පාර්ලිමේන්තුවට ගෙනත් ශ්‍රේඨාධිකරණය එලෙව්වා වගේ.
අපි මේකට විරුද්ධයි. ඔහු ජනතාවගේ යහපතට තීන්දු ගන්න නිසයි මේ ආණ්ඩුව ඔහුව එළවන්න හදන්නේ.
අපි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා, මේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන යෝජනා එපා කියන මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාව තනතුරෙන් ඉවත් කරන්න ඔබ ඡන්දය දෙනවාද .
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට ආදරේ කරන්නේ කවුද- වෛර කරන්නේ කවුද කියලා 24 වැනිදා රටේ ජනතාවට බලාගන්න පුළුවන්.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |