'මුරසු' සුළි කුණාටුව ප්‍රබල වෙයි - ලංකාවේ මුහුදු ප්‍රදේශ රැසකට රතු අනතුරු ඇඟවීමක්
‘මුරසු’ සුළි කුණාටුව ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමත් සමඟ බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ අනුව, අද (02) පෙරවරු 10.30ට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව, බටහිර-මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මුරසු’ සුළි කුණාටුව අද පෙරවරු 5.30 වන විට උතුරු අක්ෂාංශ 13.9° සහ නැගෙනහිර දේශාංශ 81.8° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතී ඇත.
මෙම සුළි කුණාටුව වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රියත් හෙට (03) අලුයම් කාලයත් අතරතුර ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ත් 80ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බවත්, ගිගුරුම් සහිත තද වැසි ඇතිවීම හේතුවෙන් මුහුද ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 17ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙස උපදෙස් දී තිබේ.
එමෙන්ම, අදාළ මුහුදු ප්‍රදේශවල දැනට සිටින ධීවර හා නාවික ප්‍රජාව වහාම ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙසද දැනුම් දී ඇත. මීට අමතරව, මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවලද නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.
'මුරසු' සුළි කුණාටුව ප්‍රබල වෙයි by rishma