කාන්තාවගේ ගෙලට පොරවකින් කොටා මරා දමා රන්මාලය සොරාගත් භයානක අපරාධකරු Mask එකෙන් කොටු වූ අයුරු - ඇඟ හිරිවැටෙන සිද්ධිය මෙන්න..

murder Jaffna crime sri Lanka Rasavil Thottam jaisili
By Sewvandhi Mar 26, 2022 05:48 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඇයට දියණියන් දෙදෙනෙකි. ඔවුන් සිටින්නේ විදේශගතවය. යාපනය පොලිස් වසමේ රාසාවිල්තෝට්ටම් ප්‍රදේශයේ ජෙයසීලි පදිංචිව සිටියේ තනිවමය. විදේශගතව සිටියද ඇගේ දියණියන් දෙදෙනා මවගේ දුක සැප නිතර සොයා බැලීමට අමතක නොකළහ. තනිවම උයා පිහා ගෙන කමින් ආගමටද දහමටද නැඹුරුව සිටි ඇය අසල්වාසීන්ගේද හිත දිනාගත් තැනැත්තියක්ද වූවාය.

තනිව විසූ ජෙයසීලිගේ නිවෙස විශාල වූ බැවින් ඇගේ නිවෙසේ උඩුමහලේ පිටස්තරයන් සිවු දෙනකු පදිංචිව සිටියහ. ඔවුහු යාපනය රෝහලේ පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුහු වූහ. කුලී පදනම මත සිටියද ජෙයසීලි ඔවුන්ගෙන් මාස්පතා ලබාගන්නේද සුළු මුදලකි. එමෙන්ම ඇය ඔවුන්ට සැලකුවේ තම දරුවන්ට මෙනි. ඔවුන්ගේ දුක සැපද ඇය සොයා බැලුවාය. මෑතකදී අසනීප තත්ත්වයකට පත්වූ වෛද්‍ය සිසුවකුට ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ ගණනක් දෙන්නට තරම් ඇය නිහතමානී වූවාය.

ඒ නිසා වෛද්‍ය සිසුන්ද ජෙයසීලි මාතාව ගැන නිතර සොයා බැලීය. ඒ ඇගේ වයෝවෘද්ධභාවය නිසාය. ඉකුත් උදෑසන ඉහළ මාලයේ රැඳී සිටින වෛද්‍ය සිසුන් තිදෙනකු සිය පාඨමාලා සඳහා සහභාගි වීමට යාපනය රෝහල වෙත ගියහ. අනෙක් සිසුවා නිවෙසින් බැහැර වූයේ උදෑසන අටද පසුවීමෙන් අනතුරුවය. ඒ වෙද්දී නිවෙසට පිටස්තරයෙක් පැමිණ සිටින අයුරු වෛද්‍ය සිසුවා දුටුවේය.

ඔහු තොප්පියක් හා නිල් පැහැති මුහුණු ආවරණයක්ද පැලඳ මිදුලේ ඇති පුටුවක වාඩි වී සිටියේය. ජෙයසීලිට එදා අවශ්‍යව තිබුණේ නිවෙස පිටුපස මැරී ගොස් තිබූ ගසක් කපා ඉවත් කර දැමීමටය. ඇය ඒ සඳහා පිටස්තර පුද්ගලයා වත්තට කැඳවා තිබුණාය. ඊට කලින්ද ඔහු උදලු ගෑමට හා ශුද්ධ පවිත්‍ර කිරීමට වත්තට පැමිණි අයකු විය. ඒ හිතවත්කම මත එදාද ඔහු ඇය විසින් වත්තට කැඳවා තිබිණි.

ගස කපා ඉවත් කිරීම සඳහා තියුණු ආයුධයක් අවශ්‍යව තිබුණද ජෙයසීලි සතුව එවැන්නක් නොවීය. ඇය නිවෙසට යාබද ගෙදරකට ගියේ එවැනි ආයුධයක් ඉල්ලා ගැනීමටය. අසල්වාසී නිවෙසේ කාන්තාව දුන් පොරොවද රැගෙන යළි සිය වත්තට ගිය ජෙයසීලි එය පිටස්තරයා අත තැබීය. ඉන් අනතුරුව ඔහු නිවෙස පිටුපසට ගියේ මැරුණු ගස කපා ඉවත් කරන බව කියමින්ය. විනාඩි කිහිපයකට පසු ජෙයසීලි පිටස්තරයා වෙත පැමිණියේ තේ කෝප්පයක්ද අතැතිවය.

තේ කෝප්පය පිටස්තරයාට දුන් ජෙයසීලි හීන් සීරුවේ නිවෙස තුළට ගොස් සාලයේ තිබූ පුටුවකට බර වූවාය. ඒ ආගම සම්බන්ධයෙන් ලියැවුණු පුංචි පොත් පිංචක්ද අතැතිවය. කාලය ගෙවීගියේය. වේලාව උදෑසන 10 පසුවිය. නිවෙසින් පිටව ගිය එක් වෛද්‍ය සිසුවකු කිසියම් දෙයක් අමතකව යළි එය රැගෙන යෑම සඳහා වත්තට ඇතුළු වූයේ ඔය අතරය.

ඔහු කෙළින්ම ගියේ උඩුමහලටය. පැමිණි කාරණය ඉෂ්ඨ කරගත් ඔහු යළි නිවෙසින් පිටව යන්නට පැමිණ නැවතත් පහත මාලය තුළට පිවිසියේය. ඒ පහත මාලයේ ඇති ශීතකරණයෙන් අයිස් වතුර වීදුරුවක් පානය කිරීමේ අදහසින්ය. ඒ සමඟ ඔහුගේ නෙත් දිව ගියේ පුටුව මත තද නින්දක වැටී සිටින ජෙයසීලි මව වෙතටය. ඇගේ ගෙල එක් පැත්තකට වැටී තිබිණි.

මුහුණේ රැඳුණු කණ්ණාඩිය නිකටින් පහළට වැටී ඇත. කියවමින් සිටි පොත් පිංච ඇගේ වම් අත මත රැඳී ඇත. මෙම දර්ශනය වෛද්‍ය සිසුවා එතරම් ගණනකට ගත්තේ නැත. ඊට හේතුව වූයේ ඔහු වෙනදාටත් ඇය එලෙස නිදා සිටින අයුරු ඕනෑ තරම් දැක තිබූ නිසාය. අයිස් වතුර වීදුරුව බිව් ඔහු ඇගේ නින්දට බාධාවක් නොකර ඒ අසලින් පිටව යෑමට සිතා යළිත් ඇය දෙස බැලුවේය.

ඒ සමඟම ඔහුගේ දෙනෙත් එකවරම ඇදී ගියේ ජෙයසීලිගේ ගෙල වෙතය. ගෙල දෙසින් රුධිරය ගලා යමින් තිබෙන අයුරු ඔහු දුටුවේය. ඔහු මඳක් වුවමනාවෙන්ම ඒ දෙස බැලීය. ජෙයසීලි මවට කිසියම් අනතුරක් සිදුවී ඇති බව ඔහුට වැටහිණි. ඔහු වහා මේ බව සිය මිතුරන්ට පැවැසීය. අවසානයේ 119 හදිසි ඇමැතුම් අංශය මඟින් යාපනය මූලස්ථාන පොලිසිය දැනුවත් කරන්නට විය.

යාපනය මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ලෙස මේ වන විට කටයුතු කරන්නේ ප්‍රධාන පොලිස් පරික්‍ෂක චම්ලි පළිහේන මහතාය. සිය කණ්ඩායමක්ද සමඟ ඔහු රාසාවිල්තෝට්ටම් පාරේ පිහිටි සිද්ධිය වූ නිවෙසට පැමිණියහ. ජෙයසීලි මව පුටුව මත වැටී සිටියාය. ඇය මියගොස් ඇති බව නිලධාරීන්ට වැටහිණි. ඇගේ ගෙල හරහා තියුණු පහර එල්ල වී තිබිණි. හොඳින් සෝදිසි කිරීමේදී නිලධාරීන්ට පෙනුණේ ඇගේ ගෙල බැඳි මාලයේ තිබූ රන් පෙන්ඩනය ඇගේ පපුව පෙදෙසට වැටී ඇති බවය.

එහෙත් රන් මාලය පෙනෙන්නට නොවීය. “කවුරුහරි එකෙක් මාලේ කඩාගන්න තමයි මේ ගෑනු මනුස්සයාව මරන්න ඇත්තේ.” ප්‍රධාන පොලිස් පරික්‍ෂක පළිහේන නිලධාරීන්ට කීවේය. සිදුවීම වහා උසස් පොලිස් නිලධාරීන් වෙත දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරික්‍ෂකවරයා ඔවුන්ගේ උපදෙස් මත විමර්ශන ඇරඹීය. යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය, සොකෝ අංශය සහ ඇඟිලි සලකුණු අංශය ආදියද දැනුවත් කළ පොලිසිය ඉන් අනතුරුව ජෙයසීලි පදිංචි නිවෙස අවට දැඩි සෝදිසියක් කළේය.

ඒ සිදු වූ අපරාධය සම්බන්ධයෙන් කිසියම් හෝඩුවාවක් සොයා ගැනීම සඳහාය. මොහොතකට පසු නිලධාරීන්ට ඒ අවට තියුණු පොරවක් වැටී ඇති අයුරු දැකගත හැකි විය. එය හොඳින් නිරීක්‍ෂණය කළ නිලධාරීන්ට එම පොරොවේ රුධිරය තැවරී තිබෙන අයුරු පෙනිණ. “එහෙනම් මේ පොරොවෙන් ගහලා තමයි ඒ අම්මව මරලා තියෙන්නේ.” ස්ථානාධිපතිවරයා සැක පළ කළේය. තියුණු පොරොව මහෙස්ත්‍රාත්වරයා වෙතද ඉදිරිපත් කෙරුණු අතර එය නඩු භාණ්ඩයක් ලෙස පොලිසිය සිය භාරයට ගත්තේය. “කවුද එතකොට මේ ගෑනු මනුස්සයව මැරුවේ.”

නිලධාරීන්ට තිබූ එකම ප්‍රශ්නය එය විය. එය දැනගැනීම සඳහා පොලිසිය හැරුණේ නිවෙසේ නතරව සිටි වෛද්‍ය සිසුන් වෙතය. “කවුද මේ අම්ම මැරිලා ඉන්නවා මුලින්ම දැක්කේ.” ස්ථානාධිපතිවරයා ඔවුන්ගෙන් කරුණු විමසීය. ඒ ඔවුන් කෙරෙහිද කිසියම් සැකයක් ඇතිවය. එක් ශිෂ්‍යයකු ඊට ඉදිරිපත්ව කියා සිටියේ තමා හදිසි අවශ්‍යතාවකට නිවෙසට පැමිණි මොහොතේ ජෙයසීලි මව පුටුව මත වැටී සිටින අයුරු දුටු බවය.

නිලධාරීන් තවදුරටත් ඔවුන්ගෙන් තොරතුරු විමසීය. ඒ තිබූ සැක සංකා දුරු කර ගැනීමේ අදහසින්ය. “සර් මම උදේ ගෙදරින් අන්තිමට ගියේ. එතකොට සර් මේ වත්තේ කෙනෙක් හිටියා. එයා හිටියේ වත්ත මිදුලේ පුටුවක ඉඳගෙන තොප්පියකුත් දාගෙනයි හිටියේ. නිල් පාට මාස්ක් එකක් දාගෙන හිටියේ. කවුද කියලා මට හඳුනගන්න බැරි වුණා.එක් සිසුවෙක් පොලිස් නිලධාරීන් හමුවේ කීවේය. නිලධාරීන් ඔහුගෙන් තවදුරටත් කරුණු කාරණා විමසා ප්‍රකාශයක්ද ලබාගත්තේය.

වත්තට පැමිණ සිටි පිටස්තරයාගේ හැඩරුවද නිලධාරීන් ඔහුගෙන් විමසා දැන ගත්තේය. නිලධාරීන් අහල පහළ පදිංචිකරුවන්ගෙන්ද ජෙයසීලිගේ වත්තට පැමිණි පිටස්තරයා ගැන තොරතුරු විමසීය. මේ අතරතුර විමර්ශන තොරතුරු ඉහළ පොලිස් නිලධාරීන්ට දැන්වීමට මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා කටයුතු කළේය. ඔවුන්ගේ උපදෙස් මත ජෙයසීලිගේ නිවෙස අවට සීසීටීවී කැමරා සෝදිසි කිරීම අපරාධකරුව හඳුනාගැනීමට ඇති හොඳම උත්සාහයක් බව උසස් නිලධාරීන් විමර්ශන නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව උප පොලිස් පරික්‍ෂක ඉන්දික හා කොස්තාපල් විජය කාන්තට කැමරා නිරීක්‍ෂණය කිරීමේ කර්තව්‍ය භාර කෙරිණි. එහෙත් ජෙයසීලිගේ නිවෙසේ හෝ ඊට ආසන්නයේ කිසිදු සී.සී.ටීවී කැමරාවක් නොවීය. එහෙත් මාර්ගය ආසන්නයේම ඇති සෙසු කැමරා නිරීක්‍ෂණය කිරීම සඳහා උප පරීක්‍ෂකවරයා සිය සගයා සමඟ ගමන් කරන්නට වූහ. එය ඉතා වෙහෙසකාරී ක්‍රියාවක් වූයේය. “මේ පුද්ගලයා මේ වත්තට එන්න යන්න ඕන උදේ අටත් දහයත් අතර වෙන්න ඇති කියලා අපි සැකකළා. ඒ අර වෛද්‍ය සිසුන්ගෙන් ලබාගත් කට උත්තරවලින්.

ඒ අනුව රාසාවිල් තෝට්ටම් ඉඳලා අපි දිගටම තියෙන කැමරා සෝදිසි කළා. කැමරාවක් තිබුණෙත් කිලෝමීටරයක් විතර අෑතින්. දිගින් දිගටම කැමරා චෙක් කරද්දී ඒ පාරේ යන වාහන ගොඩක් දර්ශන වුණා. අටත් දහයත් අතර කාලයේ යන එන වාහන අපි සෝදිසි කළා. ඔහොම දිගින් දිගටම තිබෙන කැමරා චෙක් කරගෙන කිලෝ මීටර් 18ක් විතර අපි ඉස්සරහට ගියා.” “රාසාවිල් තෝට්ටම්වලින් හා නාඋලර්පූර් පාරට වැටිලා එතැන තිබුණු හතර මං හන්දියෙන් දකුණට හැරිලා පලාලි පාරේ දිගේ අපි ගියා. එතැනදී අපිට පෙනුණා මේ වෙලාව අතර එත් පුද්ගලයකු පුෂ් බයිසිකලයක් පැදගෙන වේගයෙන් පලාලි පැත්තට යනවා.

ඒත් මිනිහා අඳුනගන්න බැහැ. නිල්පාට මුහුණු ආවරණයකුයි සුදු පාට කැප් එකකුයි දාගෙන සිටිය නිසා.” “දිගින් දිගටම අපි ඒ මනුස්සයා යන පාරේ ඇති කැමරා බල බල ගියා. හරිම අමාරු වැඩක්. දවසක් කෙසෙල් ගෙඩි විතරමයි කෑවේ. ඔය විදිහට දවස් දෙක තුනක්ම ගියා. ඒ අතරතුර ඒ මනුස්සයා යන පාපැදිය හොඳින් නිරීක්‍ෂණය කළා. කැමරාවල පින්තූර අරගෙන සූම් කරලා බැලුවා. බලද්දී බයික් එකේ පිටිපස්සේ ඩේ ලයිට් එකක් කැඩිලා තිබුණා.

බයිසිකල් රෝදයක මල් වගයක් ගහලා තිබුණා. බයිසිකලේ බෙල් එකක් තිබුණා. සයිකලේ ස්සරහ කූඩුවක් තිබුණා''. “කූඩුවේ රතුපාට බෑග් එකක් තිබුණා. මිනිහගේ හැඩරුව බලද්දී අර වෛද්‍ය ශිෂ්‍යයා කියන හැඩරුව මේ මනුස්සයගේත් තිබුණා. මිනිහා එක දිගට වේගයෙන් සයිකලේ පදිනවා. ඒ නිසා අපි හිතුවා මෙයා වෙන්න ඇති මේ දේ කළේ කියලා. ඒත් මිනිහා හරියට හඳුනගන්න බැහැ.

මුහුණේ මාස්ක් එකක් තියෙන නිසා. ඒත් අපි උත්සාහය අතහැරියේ නැහැ. දිගින දිගටම අපි සී.සී.ටී.වී. බලබල යද්දී එක තැනක අපිට දකින්න පුළුවන් වුණා මිනිහා මාස්ක් එක ගලවලා සයිකල් කූඩුවේ දාගෙන යනවා. මිනිහා මුහුණ පිහිද පිහිද යන්නේ..’ මිනිහගේ රූපය අපි ඒ අවට ඔත්තුකරුවන්ට පෙන්නුවා. මෙහෙම කෙනෙක් දැක්කොත් අපිට කියන්න කියලා. පස්සේ ඒ අවට දෙතුන් දෙනෙක් මිනිහා හඳුනාගත්තා. මාස්ක් එක මුහුණේ නැති නිසා. විමර්ශනයට සහභාගි වූ නිලධාරියෙක් කීවේය. ඒ අනුව ගතවූයේ පැය කිහිපයකි.

කිසිවකු උප පරීක්‍ෂක ඉන්දිකගේ ජංගම දුරකථනයට ඇමැතුමක් දෙනු ලැබීය. “සර් සර්ලා හොයන කෙනා දැන් අපේ පාරේ යනවා මිනිහා යන බයික් එකේ කූඩයකුත් තියෙනවා. පස්සේ ඩේලයිට් එකත් කැඩිලා” තොරතුරු ලැබෙද්දී උප පරීක්‍ෂක ඉන්දික සිටියේ පලාලිවලට ආසන්නවය. එතැන් සිට සැකකරු ගමන්ගන්නා තැනට තවත් කිලෝමීටර් 12ක් යා යුතුව ඇත. සිය සගයා විජේනායක සමඟ මෝටර් සයිකලය හරවාගත් උප පරීක්‍ෂක ඉන්දික වහා මේ බව සිය මිතුරකු වූ උප පරීක්‍ෂක කුමාරපේලි දැනුවත් කොට වහා ඔහුට මාර්ගයේ ඉදිරියට එන ලෙස දැනුම් දුන්නේය.

ඒ සමඟම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා දැනුවත් කිරීමට ඔහු පියවර ගත්තේය. කුමාරපේලිද සැරයන් රණසිංහ සමඟ යතුරුපැදියෙන් ඉදිරියට ආහ. වැඩි මොහොතක් යන්නට මත්තෙන් පාපැදියේ ගමන් ගත් පුද්ගලයා කොටු කරගැනීමට නිලධාරීන්ට හැකිවිය. ඔහු ඒ වන විට සිටියේද මුහුණු ආවරණය නොපැලඳවය. දුටු පමණින් සැකකරු හඳුනාගැනීමට නිලධාරීන්ට හැකි විය. ඉදිරිපස කූඩුවේ රතු පැහැති බෑගයද විය.

“මම එහෙම දෙයක් කළේ නැහැ සර් මම එදා යාපනයට ගියෙත් නැහැ. සැකකාර පුද්ගලයා නිලධාරීන්ට පැවසුවේය. “එහෙනම් යමුකෝ බලන්න උඹගේ ගෙදර” නිලධාරීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඔහුට නොහැකි විය. ඔහුව කුදළාගත් නිලධාරීහු පලාලි පිහිටි ඔහුගේ නිවෙසට ගියහ. නිවෙසට ඇතුළුවත්ම උප පරීක්‍ෂක ඉන්දිකගේ දෙනෙත් ඇදී ගියේ නිවෙස ඉදිරිපස ඇති රෙදි වැල වෙතය. එහි වූයේ සෝදා වේළෙන්නට දැමූ සැකකරු සිද්ධිය වූදා හැඳ සිටි ඇඳුම් බව තහවුරු කරගැනීමට ඉන්දිකට හැකි විය.

ඒ ඔස්සේ තවදුරටත් කළ සෝදිසි කිරීමේදී ජෙයසීලිගේ නිවෙසට පැමිණි දා ඔහු හැඳ සිටි කලිසමද නිවෙස තුළ තිබී සොයා ගැනීමට හැකි විය. එතැනින් පසු තවදුරටත් බොරු කීමට ඔහුට නොහැකි විය. ඒ ඇඳුම්වල රුධිරයද තැවරී තිබුණු නිසාය. “කෝ ඒ ගෑනිගෙන් කඩාගත්ත මාලේ” උප පරීක්‍ෂකවරයා විමසීය. “ඒක වත්තේ වළ දැම්මා සර්” පසුව නිලධාරීහු මුළු වත්තම සෝදිසියට ලක් කළහ.

සැකකාර පුද්ගලයාගේ බිරිය හා සිඟිති දරුවා තුෂ්ණීම්භූතව ඒ දෙස බලා සිටිද්දී නිලධාරීන් කුඩා දරුවාගේ පොත් බෑගයේ සඟවා තිබූ ජෙයසීලි මරා කඩාගත් රන් මාලයේ කොටස සොයා ගත්තේය. ප්‍රශ්න කිරීමේදී සැකකරු කීවේ ජෙයසීලිගේ ගෙලට පොරෝ පහර තුනක් එල්ල කොට මාලය කඩාගත් බවය. “මට කිව්වේ පාරේ තිබිලා ඇහින්දා කිලා සර්” සැකකරුගේ බිරිය නිලධාරීන් හමුවේ කීවාය. සැකකරු පොලිසියට රැගෙන ගියේ රන් මාලය හා පාපැදියද සමඟය.

“ඇයි උඹ ඒ ගෑනු මනුස්සයව මැරුවේ” මගේ මෝටර් සයිකලේ ෆිනෑන්ස් එක ගෙවන්න බැරිව හිටියේ සර්. “කීයක්ද” විසිදහක් සර් “ඒක ගෙවන්න තමයි සර් මම ඒ ඇන්ටිගේ මාලේ කඩාගත්තේ’ “ඉතින් යකෝ ඒකට ඒ ගෑනි මරන්න ඕනෑයි ගෙදර ඕන තරම් සල්ලි තිබුණනේ.” “ඒක තමයි සර් මම කලබල වුණා. දැන් මොනවා කරන්නද?” සැකකරු යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

(පොලිස් පරීක්‍ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.) කීර්ති මෙන්ඩිස්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now