ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු කොරෝනා ආසාදිතයා ගෙන් විශේෂ හෙළිදරව්වක්..

Sri Lanka Covid vaccines Booster vaccines Jayantha anasinghe
By Aruna Jan 28, 2022 04:56 AM GMT
Report

කොරෝනා මර්දනය කිරීම සඳහා රජය මගින් සිව්වැනි මාත්‍රාවක් ලබා දෙන්නේ නම් එය ද ලබා ගැනීමට තමන් කිසිදු විටෙක පසුබට නොවන බව ශ්‍රී ලංකාවෙන් හමු වූ පළමු කොරෝනා ආසාදිතයා වන ජයන්ත රණසිංහ මහතා ප්‍රකාශ කරනවා.

මේ වන විට ජනතාව බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා මන්දගාමී තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි, ඔහු මේ බව පැවසුවේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තමා ආසාදිතයකු ලෙස පළමු වරට හඳුනාගන්නා විට කිසිදු ඖෂධයක් සොයා ගෙන නොතිබුණු බවත්, ඒ වන විට එන්නත් සොයා ගෙන ද නොතිබුණු බවයි.

එවන් අසීරු තත්ත්වයකට සාපේක්ෂව මේ වන විට තාක්ෂණය දියුණු වී ඒ සඳහා එන්නත් ද සොයාගෙන ඇති අවස්ථාවක මරණයෙන් බේරීම සඳහා මෙවැනි එන්නත් ලබාදීම සම්බන්ධයෙන් තමා සතුටු වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම අනෙකුත් රටවල එන්නත ලබා ගැනීම සඳහා ජනතාව රජය පස්සේ යන අවස්ථාවක අපේ රටේ රජය ජනතාව පස්සේ බලෙන් අදාළ එන්නත්කරණයට යොමුකිරීමට සිදුව ඇති අයුරු දක්නට ලැබෙන බව ද ජයන්ත රණසිංහ පවසනවා.

මෙවැනි අවස්ථාවක පළවෙනි මාත්‍රාව සහ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ජනතාව දැක්වූ උනන්දුව තුන්වන මාත්‍රාව ලබා ගැනීමට නොමැති වීම කනගාටුවට කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

බුස්ටර් එන්නත ලබා ගැනීමෙන් පසු අස්ථි වේදනාව සහ සුළු රෝගී තත්ත්වයන් තමාට ද ඇති වූ බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත්, එම නිසා බියකින් තොරව බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙසත් ජයන්ත රණසිංහ විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව නැවතත් වැඩි වෙමින් පවතින අවස්ථාවක රට නැවත පැරණි තත්ත්වයට නොයවා නිසි සෞඛ්‍ය පුරුදු රකිමින් බූස්ටර් එන්නත ලබා ගැනීම අප සැමගේම යුතුකමක් සහ ශ්‍රී ලංංකීය ජාතියේම වගකීම බව ද ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now