පොල් තෙල් භාවිතා කරන අයට රතු එළියක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..
ආනයනික පොල්තෙල් කිලෝ ග්‍රෑමයකට රුපියල් විසිපහ බැගින් පනවන ලද බද්ද හේතුවෙන් ෆාම්තෙල් කලවම් කරන ලද පොල්තෙල් යළි වෙළඳපොළට අලෙවි කිරීමේ සූදානමක් ඇති බව පොල්තෙල් නිෂ්පාදකයෝ සහ අපනයනකරුවෝ පවසනවා.
අපනයනකරුවෝ පෙන්වා දෙන්නේ, මෙම බද්ද නිසා පොල්තෙල් මිල ඉහල යන අතර පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින් වාර්ෂිකව ලැබෙන අපනයන ආදායම වන ඩොලර් මිලියන 700 අධික මුදලටද බලපෑම් එල්ල විය හැකි බවයි.
පොල්තෙල් සඳහා පනවා ඇති තීරු බදු ප්‍රමාණය වැඩි වී ෆාම් ඔයිල් සඳහා පනවා ඇති තීරු බදු ප්‍රමාණය අඩු වූ සෑම අවස්ථාවකම කූට ව්‍යාපාරිකයන් විසින් පොල්තෙල් සඳහා ෆාම් ඔයිල් කලවම් කර විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹ ඊයේ (24දා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනාවරණය කළා.
පැනවූ බද්ද ඉවත් කිරීමට නොහැකි නම් ෆාම්තෙල් සඳහා වන තීරු බද්ද රුපියල් විසිපහකින් වැඩි කරන ලෙස එම ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියා.
බදු පැනවීමේදී අපනයනකරුවන් හෝ ආනයනකරුවන් සමග සාකච්ඡා කර නොමැති අතර මෙම තීරණයෙන් පොල්තෙල් කර්මාන්තයේ නිරත ඍජු සහ වක්‍ර රැකියාලාභීන් දැඩි අසීරුතාවට පත්ව ඇත.
කෙසේ වෙතත් 2019 වසරේ පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව වාර්ෂික පොල් අවශ්‍යතාවය ගෙඩි බිලියන 4.9ක්.
ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.8ක් වන අතර මෙරට පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා පොල් ගෙඩි බිලියන 1.8ක් අවශ්‍ය වේ.
අපනයන ආශ්‍රිත නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව ගෙඩි බිලියන 1.3ක් වුවද වාර්ෂික පොල් අස්වැන්න වන්නේ ගෙඩි බිලියන 3යි දශම 1කි.
ඒ අනුව වාර්ෂික පොල් හිඟය ගෙඩි බිලියන 1.8ක් වේ.