චීනය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලයි - හේතුව මෙන්න

Sri Lanka Government Of Sri Lanka Government of China China Ship In Sri Lanka
By Sewvandhi Aug 08, 2022 08:37 AM GMT
Report

අභ්‍යාවකාශ සහ චන්ද්‍රිකා ග්‍රාහක නවීන තාක්ෂණ මෙවලම් සහිත චීන යුවාන් වෑන්ග් -5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම පමා කරන්නැයි රජය කළ ඉල්ලීම පිළිබඳව කොළඹ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා තිබේ. මෙරට ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය අද ඒ පිළිබඳ අනාවරණ කර තිබුණි.

යුවාන් වෑන්ග් -5 නෞකාව ලබන 11 වැනිදා සිට 17 වැනිදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට සැලසුම් කර තිබුණි. නමුත් එම නෞකාවේ ආගමනය නැවත දැනුම්දෙන තුරු කල් දමන ලෙස මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී තිබුනේ ඉන්දිය රජය ඒ සම්බන්ධයෙන් විරෝධාත්මක ස්ථාවරයක් පළ කර තිබීම නිසයි.

අගෝස්තු 5 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය චීනයට එම දැනුම් දීම සිදුකර තිබුණේ ඒ පිළිබඳ තවදුරටත් උපදෙස් ලබාගතයුතු බව පවසමිනි. ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ, පරිදි යුවාන් වෑන්ග් -5 නෞකාවේ ග්‍රාහක පරාසය කිලෝමීටර් 750ක් පමණ වන අතර, ඊට කාලපාක්කම් සහ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාර ක්‍රියාකාරකම් ඇතුළු දකුණු ඉන්දියාවේ උපක්‍රමීය දත්ත ග්‍රහණය කළ හැකි බවය.

මේ හේතුවෙන් ඉන්දීය රජය චීන යුවාන් වෑන්ග් -5 නෞකාවේ හම්බන්තොට චාරිකාව සම්බන්ධයෙන් තමන් පරීක්ෂාවෙන් පසුවන බවත් එහිදී ඉන්දියාවේ ආරක්ෂක සහ වාණිජමය අභිලාෂයන් ආරක්ෂා කරගැනීම සඳහා සියලු පියවර ගන්නා බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඉන්දියාවෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන චීන ග්ලෝබල් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ යුවාන් වෑන්ග් -5 හමුදාමය නෞකාවක් ලෙස හැඳින්වුවද නැංගුරම්ලන වරාය අයත් රටවල නීතියට අනුකූලව කටයුතු කරන බවය. එමෙන්ම ඊට ඉන්ධන ලබාදීමෙන් ශ්‍රී ලංකාවට යම් විදේශ විනිමය ප්‍රමාණයක් උපයාගත හැකි බවද චීනය වැඩිදුරටත් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now