පොහොර නැවක් නිසා ලංකාවට වෙන්න යන දේ ගැන බයානක ආරංචියක්..

Sri Lanka Businessman
By Aruna Jun 27, 2022 06:03 AM GMT
Report

ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් මෙරටට ලබා දීමට නොහැකි බව චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ජාවකදී එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සමාගම මේ පිළිබඳව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

යම් හෙයකින් ප්‍රතික්ෂේප කෙරුණු පොහොර තොග භාර නොගන්නේ නම්, ඒ වෙනුවෙන් වන්දියක් පවා ගෙවීමට සිදුවනු ඇතැයි ඔවුන් එහිදී අනතුරු අඟවා ඇති බව සඳහන්.

චීන සමාගමේ මෙරට නියෝජිතයා දැනුම් දී ඇත්තේ ප්‍රතික්ෂේප වූ පොහොර තොගය වෙනුවට නව පොහොර තොගයක් ලබාදිය නොහැකි බවයි.

සිය සමාගම ලබා දෙන පොහොර තොගය භාර නොගෙන ප්‍රතික්ෂේප කරන්නේ නම් එම සමාගම අපකීර්තියට පත් කළා සේ සලකන බවත් ඔවුන් පෙන්වාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවා.

ඒ අයුරින් චීන සමාගම අපකීර්තියට පත් කිරීමක් ලෙස සැලකුවහොත් ඊට අදාලව වන්දි ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් ගෙවීමට සිදුවනු ඇතැයි ද මෙරට නියෝජිත සමාගම කෘෂිකර්ම අමාත්‍යංශ බලධාරීන්ට පෙන්වා දී තිබෙනවා.

එම වන්දි මුදල නොගෙවන්නේ නම්, එය දෙරට අතර පවතින මිත්‍රශීලී ගනුදෙනු සඳහා ඇති කරනු ලබන සෘණාත්මක බලපෑම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත්තේ චීන පොහොර සමාගමේ දේශීය නියෝජිත සමාගම කළ අනතුරු ඇඟවීම අනුවයි.

ප්‍රතික්ෂේපිත චීන පොහොර නැවට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල මේ වන විට ගෙවා අවසන්.

නමුත් මේ වන තුරුත් ගෙවූ මුදලට සරිලන අයුරින් කිසිදු පොහොර තොගයක් මෙරටට ලැබී නැහැ.

ඒ සඳහා අධිකරණයේ පැවරුණු නඩු කටයුත්තේදී එළැඹුණු සමථකරණයට අනුව ප්‍රසිද්ධ කළ යුතු ඒකාබද්ධ නිවේදනය පවා මේ වනතෙක් නිකුත් නොකිරීම සැක සහිත බව කෘෂි විශේෂඥයින් පවසනවා.

ප්‍රතික්ෂේප වූ චීන පොහොර නැව සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග, කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ අනෙකුත් ගැටලුවලට මුවා වෙමින් මඟහැරීමට බලධාරීන් කටයුතු කරන බව කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් පසුගිය කාලය පුරාම චෝදනා කළා.

ඔවුන් පෙන්වා දුන්නේ රටේ උද්ගතව ඇති ආර්ථික සහ දේශපාලන අවුල් සහගත තත්ත්වයත් සමඟ චීන පොහොර නැව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු තවත් ව්‍යාකූල බවට පත්වූ බවයි.

චීන පොහොර නැව සම්බන්ධයෙන් ගනුදෙනු ආරම්භවූ දා සිටම මේ වනතුරු ඒ ගැන වගකීම් ඇමැතිවරු දෙදෙනකු හා රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු අතට පත් කිරීම මේ ව්‍යාකූලත්වය තවත් තීව්‍ර වීමට හේතු වී ඇති බව ඔවුන්ගේ අදහසයි.

හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ප්‍රතික්ෂේපිත පොහොර නැව වෙනුවට අලුතින් පොහොර නැවක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වන බව පැවැසුවද, මේ වනවිට පත්ව ඇත්තේ චීනයට ඇමෙරිකන් ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවා කිසිවක්ම නොලබා අත පිහිදා ගැනීමේ තත්ත්වයටයි.

මතුව ඇති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ මහජනතාවට මේ පිළිබඳව ප්‍රශ්න කිරීම මඟ හැරී ඇති නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන බලධාරීන්ද ඒ පිළිබඳව කරුණු යට ගැසීමට උත්සාහ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පෙන්වා දෙනවා.

පසුගිය දිනවල කෘෂි ක්ෂේත්‍රයේ උද්ගත වූ අර්බුදවල දරුණු ප්‍රතිඵල මේ දිනවල අත්විඳීමට ගොවීන්ට සිදුව ඇති නිසා ප්‍රතික්ෂේපිත චීන පොහොර නැව ගැන සංවාදයද තිරය පිටුපසට තල්ලු වූ ස්වරූපයක් ගෙන ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළා.

චීන පොහොර නැවේ කථාව කරළියට එන්නේ පසුගිය වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකා රජය විසින් එක රැයෙන් ගත් ආන්දෝලනාත්මක ප්‍රතිපත්තිමය තීන්දුවක් සමගයි.

එම තීරණයට අනුව ශ්‍රී ලංකාවේ ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ආනයනය මුළුමනින්ම නවතා දැමු රජය, මෙරටට අවශ්‍ය කාබනික පොහොර රටතුලදීම නිපදවා හිඟයකින් තොරව ගොවීන්ට ලබාදෙන බවට වහසිබස් දෙඩුවා.

කෙසේ වෙතත් සැළසුම් කළ පරිදි මෙරට තුල කාබනික පොහොර නිෂ්පාදනය සිදු නොවුනේ ගොවීන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ඒ සදහා ප්‍රාමාණික දැනුමක් නොතිබීම හේතුවෙන්.

ඒ අනුව ‘’පොහොර දියව්’’ යන සටන් පාඨය මෙරට සතර දෙසින් ඇසෙන්නට වුණේ ආණ්ඩුවේ ආන්දෝලනාත්මක තීරණයට බරපතල කනේ පහරක් එල්ල කරමින්.

ගොවිබිමෙන් මහපාරට ආ ගොවි ජනතාවගෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ මහ කන්නයේ වී වගාව සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කලේ සිය දැඩි තීරණය අඩියක් පිටුපසට ගනිමින්.

අගෝස්තු මස 5 දා නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව, මුහුදු පැළෑටිවලින් නිපදවන කාබනික පොහොර ' චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම' නම් චීන සමාගමකින් ගෙන්වීමට තීරණය වුණේ ඒ අනුවයි.

ඒ සඳහා රජය විසින් අනුමත කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 63.6ක්. චීන පොහොර නැවේ අර්බුදය දිග හැරෙන්නට පටන් ගන්නේ ඉන් අනතුරුවයි.

අගෝස්තු මස 31 දා මෙම කාබනික පොහොර තොගයේ සාම්පල දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලයය හරහා ජාතික ශාක නිරෝධායන සේවයට ලැබීමෙන් පසු සිදුකෙරුනු පර්යේෂණවලින් එක් සාම්පලයක "අර්වීනියා" සහ "බැසිලස්" යන ගණයන්ගේ ක්ෂුද්‍රජීවීන් බහුලව සිටිනබවට පළමු වරට අණාවරණ වුණා.

කෙසේ වෙතත්, රජයෙන් ආනයනය කළ කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් ඇතැයි පැතිර යන ප්‍රවෘත්ති අසත්‍යක් බවට කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදන නිකුත් කලේ "ආනයනික කාබනික පොහොර භාවිත කිරීමට කිසිදු බයක් සැකක් ඇතිකර නොගන්නා ලෙස" ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිමින්.

නමුත් මෙරට කෘෂිකර්ම බාලධාරීන්, චීන සමාගමෙන් ගෙන්වූ පොහොර වල තවත් සාම්පලයක් පරික්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ අහිතකර ක්ෂුද්‍රජීවීන් සිටින බව යළි තහවුරු වූ බව යි.

ඒ අනුව චීන සමාගමෙන් ගෙන්වූ කාබනික පොහොරවල ක්ෂුද්‍රජීවීන් ඇතැයි රජය පිළිගත් අතර, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එහිදී ප්‍රකාශ කලේ පොහොර තොගය රැගෙන මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති හිපෝ ස්ප්‍රීට් නැවට කිසි ලෙසකින් මෙරට වරායන් වෙත ඇතුළු වීමට හෝ අදාළ පොහොර තොගය ගොඩබෑම සදහා අවසර ලබා නොදෙන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ වාර්තා ප්‍රතික්ෂේප කළ අදාළ චීන සමාගම , මෙරටට දැඩිව බලපෑමක් එල්ල කළේ තෙවන පාර්ශ්වයක සහභාගීත්වයෙන් මෙම කාබනික පොහොර තොගයේ සාම්පලවල අහිතකර බැක්ටීරියා ඇත්දැයි තහවුරු කළ යුතු බවටයි.


එසේ නොවන්නේ නම් ඊට දැඩි ක්‍රියාමර්ග ගන්නා බවටත්, ඔවුන් අවස්ථා කිහිපයකදී මෙරට චීන තානාපති කාර්යාලය හරහා නිවේදන නිකුත් කරමින් ශ්‍රී ලංකාවට තර්ජනද කළා.

අහිතකර බැක්ටීරියා ඇති බවට ලැබුණු වාර්තා හේතුවෙන් මෙම පොහෙර තොගය ශ්‍රී ලංකාවට භාර නොගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කළ නිසා පොහොර මිලදී ගැනීමට විවෘත කළ ණයවර ලිපිවලට අදාල මුදල් ගෙවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා පොහොර සමාගම හා කොළඔ කොමර්ෂල් පොහොර සමාගම කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක්ද ගොනු කළා.

චීන සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර සම්බන්ධයෙන් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඇති කරගෙන තිබූ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති අර්බුදකාරී තත්ත්වය දෙපාර්ශ්වයටම එකඟවිය හැකි වාණිජ කොන්දේසි මත සමථයකට පත් කර ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නේ මේ අතර වාරයේයි.

සමථ කොන්දේසි වලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට එකඟ වුණා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වුණා.

ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බව සමථ කොන්දේසී වල සඳහන්.

නමුත් ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව වෙනුවට අලුත් පොහොර නැවක් මෙරටට ලබා දීමට නොහැකි බව චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගම දැන් පවසන්නේ එම සමථකරණය තඹයකට මායිම් නොකරමින්.

එකල කෘෂිකර්ම අමාත්‍යවරයා දස අතේ සපථ කළේ පොහොර නැවට ගෙවන මුදලට සරිලන පොහොර තොගයක් නොපමාව ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.

අද වන විට පොහොර පමණක් නොව කයිවාරු ගැසූ මහින්දානන්ද අමාත්‍යවරයා ද නොමැති අතර කන්න දෙකක් පාලු වූ ගොවියාට මේ වන විට සිදුව ඇත්තේ හාල් කිලෝවක් දෙකක් මිලදී ගන්නට මීටර සිය ගණනක් දිගු පෝලිම් වල ලගින්නටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now