මහ බැංකුවෙන් අතුරුදන් වූ මුදල් බන්ඩලය ගැන අලුත්ම සැකයක්..!

Central Bank of Sri Lanka Sri Lanka
By Sewvandhi Apr 12, 2023 03:56 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ "නිකුතු සුරක්ෂිතාගාරයේ" තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් මේ වනවිට සේවකයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.

එනම්, අද (11) දින කොටුව පොලීසිය සඳහන් කළේ එම අංශයේ එදින සේවය කළ 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බවය. ඊට අමතරව සීසීටීවී දර්ශන රැසක් ලබාගෙන ඒ ඔස්සේ ද විමර්ශන ආරම්භ කර තිබේ.

මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ.ආර්. දයානන්ද මහතා විසින් ඊයේ (11) පැමිණිල්ලක් සිදුකර තිබුනේ, රුපියල් ලක්ෂ 50ක් අඩංගු මුදල් බන්ඩලයක් අස්ථානගතවී ඇති බවටයි.

අදාළ පැමිණිල්ලෙ මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නව තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබී මෙම මුදල් බන්ඩලය අස්ථානගතවී ඇති බව සදහන් කර ඇති බව වාර්තා වනවා.

මුදල් තැබූ රාක්කයේ රුපියල් 5,000 මුදල් නෝට්ටු 1,000 බැගින් බන්ඩල 8,000ක් පමණ තිබී ඇති අතර සිද්ධිය වූ දිනයේ බිලියන 25ක පමණ මුදලක් බැංකුවෙන් බැහැරට ගෙනගොස් ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මුදල් බන්ඩලය කිසියම් වූ අත්වැරදීමකින් වෙනත් රාක්කයක් වෙත ගියේද යන්න සැකයක් පවතින බවත්, කෙසේ නමුත් අපරාධයක් සිදුවූ ආකාරයට විමර්ශන සිදුකරන බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

ඊට අමතරව මහ බැංකුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මුදල් ගණනය කිරීමේ පරීක්ෂණ කටයුතු සිදුකරන බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now