බිහිසුණු ලෙස ව්‍යාපාරිකයෙකුව මහ දවාලේ කොල්ලකයි..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Businessman
By Sithumi May 02, 2023 11:04 AM GMT
Report

ඊයේ (01) දහවල් ගල්කිස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුව කොල්ලකා ඇත. එහිදී සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයා පැළැඳ සිටි පවුම් 28ක් බරැති රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ 02ක පමණ මුදලක් අදාළ සැකකරුවන් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.

තියුණු ආයුධ සමග ගල්කිස්ස පීරිස් පාරේ වෙළෙඳසලකට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ කොල්ලකා ඇති රන් භාණ්ඩ අතර පවුම් 5ක් සහ 7ක් බර අත් පළඳනා දෙකක්, පවුම් 12ක මාලයක්, පවුම් 1ක් සහ 1 1/2 බර පෙන්ඩන් දෙකක්, පවුම් 1ක් සහ පවුම් 1/2ක් බර සුර දෙකක් ද ඇති බවය.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, එම අවස්ථාවේදී වෙළෙඳසැලේ සේවකයින් 08 දෙනෙකු පමණ සිට ඇති අතර එකවරම වෙළෙඳසැල තුළට ඇතුළුවී ඇති කොල්ලකරුවන් ව්‍යාපාරිකයාගේ ගෙලට තියුණු ආයුධයක් තබා කොල්ලය සිදුකර ඇති බවයි.

ඔවුන් පැමිණ තිබෙන්නේ කොළ පැහැති ත්‍රිරෝද රථයකිනි.  වැඩිදුරටත් හෙළිවී ඇත්තේ ව්‍යාපාරිකයා සතු රන්භාණ්ඩ කොල්ලකෑමෙන් පසු සැකකරුවන් පළායෑමට සූදානම් වී නැවතත් පැමිණ කවුන්ටරයේ තිබූ මුදල් ද රැගෙන පළාගොස් තිබූ බවය.

සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය ඔස්සේ විමර්ශනය සිදුකළ පොලීසියට අනාවරණය වී ඇත්තේ අදාළ ත්‍රීරෝද රථය මීට දින කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවටය.සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් දෙදෙනාව මේ වනවිටත් හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර ගේ උපදෙස් මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now