යුග දිවියක් සතුටින් පවත්වා ගැනීමට ඕනෑ හැටි බුදු දහමෙන් කියලා දෙන සූත්‍රයක් මෙන්න..
ප්‍රීතිමත් යුග දිවියක් ගත කිරීමේ අවශ්‍යතාව ඇති ඕනෑම අයෙකුට බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සිඟාලෝවාද සූත්‍ර දේශනාව තුලින් තම පවුල් සංස්ථාව ස්ථාවරව හා සතුටින් පවත්වා ගැනීමට ඕනෑ හැටි පුළුවන. පවුල් ජීවිතයක පදනම සකසා දෙන අගනා බෞද්ධ සූත්‍ර දේශනාවක් ලෙස සිඟාලෝවාද සූත්‍ර දේශනාව හදුන්වා දිය හැකිය. මෙම සූත්‍ර දේශනාව තුලින් යහපත් පවුල් පසුබිමක් මෙන්ම වගකීම් නිසි අයුරින් තේරුම් ගත් සැමියෙකු, බිරිදක සමාජයට බිහි වීම තුලින් පවුල් පසුබිම තුල ගොඩනැගෙන ගැටලු ද අවම කර ගැනීමට ඔබට පුළුවනි.
බුදු දහම තුල සිඟාලෝවාද සූත්‍රයට අනුව යුග දිවියක් සතුටින් ගත කිරීමට නම් ස්වාමියා ගෙන් බිරිඳට ඉටුවිය යුතු යුතුකම් ද බිරිඳගෙන් ස්වාමියාට ඉටුවිය යුතු යුතුකම් ද නොපිරිහෙලා ඉටුවිය යුතුයි. ඒ අනුව සැමියා විසින් සිය බිරිඳට කරුණු පහකින් සංග්‍රහ කළ යුතු අතර මෙසේ ස්වාමි පුරුෂයාගෙන් සැලකුම් ලබන බිරිඳ අතින් ද ඉටු විය යුතු යුතුකම් පහක් පෙන්වා දී ඇත. සියලුම පවුල් සංස්ථාවන් හී පුරුෂ පාර්ශවය මෙම යුතුකම් තම බිරිඳ වෙනුවෙන් ඉටු කිරීම තුලින් පවුල් ජීවිත තුල ආදරය, සෙනෙහස මෙන්ම තම බැඳීමද ශක්තිමත් කර ගැනීමට ඔබ සැමට පුළුවන.
සැමියෙක් විසින් බිරිඳකට ඉටු කල යුතු යුතුකම්
- සම්මානනාය – භාර්යාවට ගරු කිරීම හා සැලකිලිමත්ව කතා කිරීම "තමන්ගේ මවුතුමියට, තමන්ගේ අක්කට, නංගිට යම් විදියකටද කතා කරන්නේ යම් ආදරයකින්ද, ඒවාගේම තමන්ගේ දයාබර බිරිදට මෘදු වචනයෙන්, මෛත්‍රී වචනයෙන්, ගෞරවනීය වචනයෙන් කතා කරන්නට ඕනේ."
- අනවමානනාය – තම බිරිඳට අවමන් නොකිරීම "බිරිදගේ යම් යම් වචනවල වැරදි තියෙන්න පුළුවන්. ක්‍රියා පටිපාටිවල යම් යම් වරද තියෙන්න පුළුවන්. ඒවා දුටු පමණින් ඇසු පමණින් කිපෙන්නේ නැතුව සුදුසු වෙලාව සලකලා මෙන්න මේක වැරදියි. මෙහෙම දේවල් කරන්නෙපා. ඒවාගෙන් වළකින්න. මෙන්න මෙහෙම දෙවල් කරන්න. මෙහෙම කථා කරන්න පුරුදු වෙන්න. ඒ තමයි අපේ බෞද්ධ චාරිත්‍රය, බෞද්ධ සිරිත් විරිත් මෙහෙමයි කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දෙනවා මිසක් කවදාවත් නපුරු සතෙකුට කෑගහන්නා වාගේ තමන්ගේ බිරිදට දෝෂාරෝපණය නොකළ යුතුයි. අවමන් නොකළ යුතුයි. අවිචාර අවඥා නොකළ යුතුයි."
- අනතිචරියාය – වෙනත් ස්ත්‍රීන් සමඟ අනාචාරයේ නොහැසිරීම "තමන්ගේ බිරිද හැර අනෙක් සියලු ලෝක සත්වයා වෙත බ්‍රහ්මචාරී වෙන්න ඕනේ. ඒකට කියනවා ස්වදාර සන්තෝෂය කියලා. ඒ කියන්නේ පරදාර සේවනයෙන්, ගණිකා සේවනයෙන් සම්පූර්ණයෙන්ම වැළකිලා පිරිසිදු චරිතයක් ඇතිව ජීවත් වෙනවා. එයින් ස්වාමි දියණියගේ පරම විශ්වාසය තමන්ගේ ස්වාමි පුත්‍රයා කෙරෙහි ඇතිවෙනවා."
- ඉස්සරියවොස්සග්ගෙන – යස ඉසුරු පවරා දීම " ගෙදර දොර සියලු කටයුතු තමන්ගේ බිරිදට පවරා තියෙන්න ඕනේ. එතකොටයි එතුමිය ගෙදර දොර සියලු වගකීම් බාරගන්නේ. යටත් පිරිසෙන් මුළුතැන්ගෙයි කටයුතු බිරිද බාරයේ තියෙන්නට ඕනේ."
- අලඞකාරානුප්පදානෙන –ආභරණ සපයා දීම " තමාගේ වත්කම් හැටියට ආදායමේ හැටියට ඇදුම් පැළදුම් ආභරණ ආදිය තමන්ගේ බිරිදට ලබාදීම අවශ්‍යයි."
මේ සඳහන් කල පස් ආකාරයෙන් සැමියෙක් විසින් තම බිරිඳට සංග්‍රහා කල යුතුය. එපමණක්ම නොව බිරිඳක් විසින් තම සැමියාට ඉටු කල යුතු යුතුකම් පහක් ද සිඟාලෝවාද සූත්‍ර දේශනාව තුලින් පෙන්වා දී ඇත. යහපත් බිරිඳක් ලෙස ඔබද ඔබගෙන් තම සැමියාට ඉටු කල යුතු යුතුකම් මොනවාද යන්න දැන සිටීම තුලින් ඔබගේ පවුල් දිවියේ ප්‍රීතිමත් බව එලෙසම පවත්වා ගැනීමට ඔබට හැකිය.
බිරිඳක් විසින් තම සැමියාට ඉටු කල යුතු යුතුකම්
- සුසංවිහිතකම්මන්තාච - මනාව කටයුතු සංවිධානය කරන ඇත්තියකු වීම. "මෙමගින් අදහස් කරනු ලබන්නේ ගෙදර දොර කටයුතු මෙන්ම වෙනත් භාහිර සමාජ කටයුතු ද පිළිවෙලක් ඇතිව සිදු කිරීමට වග බලා ගැනීමය. "
- සුසංගහිතපරිජනා ච- ස්වාමියාගේ පිරිවර ජනයාට මැනවින් සංග්‍රහා කිරීම . " තම සැමියාගේ පවුලේ නෑ හිත මිතුරන් හට නිරතුරා සැලකීමට හා යුතුකම් ඉටු කිරීමට වග බලා ගත යුතුය "
- අනතිචාරිනී ච –වෙනත් පුරුෂයන් සමඟ අනාචාරයේ නොහැසිරීම "තමන්ගේ ස්වාමි පුත්‍රයා හැර කවදාවත්ම පර පුරුෂ සේවනයට හිතක්වත් පහළ කර ගන්නේ නැහැ. ඉතාමත්ම පිරිසිදුව පතිවෘතා ගුණය ආරක්ෂා කර ගන්නවා."
- සම්භතං අනුරක්ඛති - සැමියා සපයා ගෙනත් දුන් වස්තූන් ආරක්ෂා කිරීම "තම සැමියා මහන්සි වී උපයන මිල මුදල් මෙන්ම රන් රත්තරං බඩුද ආරක්ෂා කර ගනිමින් මනා ලෙස විය පැහැදම් කිරීම යහපත් භාර්යාවකගේ වගකීමකි"
- දක්ඛා ච හොති සබ්බකිච්ච කරණියෙසු - සියලු කටයුතු වලට දක්ෂ හා කාර්යශූර වීම. "ගෙදර දොර කටයුතු වලට මෙන්ම දරුවන්ගේ සියලු කටයුතු ද මනාව සොයා බලා ඉටු කිරීම"
ඉහත සදහන් කල පස් අයුරින් යහපත් බිරිඳක් ලෙස ඔබද ඔබගේ සැමියාට යුතුකම් ඉටු කල යුතුය. පවුල් සංස්ථාවක පැවැත්ම කෙරෙහි වැඩි වගකීමක් ඇත්තේ භාර්යාවටය. එම නිසා තම යුතුකම් වගකීම මනා ලෙස තේරුම් ගෙන තම පවුල වෙනුවෙන් කැපවීම කාන්තා ඔබ අප සැමගේම වගකීමකි.