රුධිර පරීක්ෂණ වාර්තාවක් තනිවම කියවන්නේ මෙහෙමයි.

Ministry of Health Sri Lanka
By Wayomi May 07, 2022 06:48 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report
රුධිර පරීක්ෂණ, එහෙමත් නැත්නම් blood test රෝග විනිශ්චය කිරීමේ සහ ප්‍රතිකාර ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වෙලා තියෙනවා. මොන ලෙඩේට ප්‍රතිකාර කරන්නත් blood test එකක් කරනවා. ඒත් හැබැයි report එක කියවගන්න nurse කෙනෙක් හරි doctor කෙනෙක් හරි ඉන්නම ඕන. ඉතින් මේ කියන්න යන්නේ doctor ගාවට යන්න කලින් ඔයාගේ blood test report එක කියවන්නේ කොහොමද කියලා.
රුධිර වාර්තාවක් කියවා තේරුම් ගැනීම සහ තම රෝගී තත්වය පිළිබඳ වැටහීම තිබීම වැදගත්. හැබැයි රෝග විනිශ්චය (Diagnosis) තනිකරම පරීක්ෂණ වාර්තා මතම රඳා පවතින්නේ නැහැ. රෝග විනිශ්චය කිරීම සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ (History), වෛද්‍ය පරීක්ෂාව (Physical Examination) හා වෙනත් රෝගයට අදාළ කරුණු සියල්ල සලකා බලනවා. ඒ වගේම රසායනාගාර වාර්තා මත පදනම් කරගෙන තනිව බෙහෙත් ගන්න යන්න එපා. ඕනෑම රෝගී තත්වයකදී රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකුගෙනම් බෙහෙත් ගන්න.
ඕනෑම රසායනාගාර වාර්තාවක් ගත්තොත් ඒකේ මුලින්ම තියෙන්නේ පරීක්ෂණයේ ( Test) නම, ඊට පස්සේ පරීක්ෂණයේ ප්‍රතිඵලය (Result) සහ ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units). ඊටත් පස්සේ අදාළ පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය අගයයන්ගේ පරාසය (Normal Range) එක සඳහන් කරනවා. හැබැයි මෙම පරීක්ෂණ වල සාමාන්‍යය අගයයන්ගේ පරාසය රටකින් රටකට වෙනස් වෙන්න පුළුවන්.

Hb - හිමොග්ලොබීන්

මෙම පරීක්ෂණයෙන් බලන්නේ රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය. එහි අගය ඩෙසිලීටරයකට ඇති ග්රෑම් ප්‍රමාණය (g/dL) ලෙස ගණනය කරනවා. සාමාන්‍යයෙන් පිරිමි අයගේ ඉහළ හිමොග්ලොබින් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා පුරුෂ හා ස්ත්‍රී යන අගයයන් දෙකකින් තමයි හිමොග්ලොබින් ප්‍රමාණය ගණනය කරන්නේ.
ඒ අනුව සාමාන්‍ය වැඩිහිටි පුරුෂයකු සඳහා අගය 13 – 16 g/dL වන අතර වැඩිහිටි ස්ත්‍රියක අගය 12 – 15 g/dL වෙනවා. මෙම පරාසයන්ට වඩා අඩු පරාසයන් තියෙනවා නම් ඔවුන් රක්තහීනතාවයට ගොදුරුවීමේ හැකියාව තියෙනවා.  


WBC - සුදු රුධිරානු

මෙමගින් ලේ වල ඇති මුළු සුදු රුධිරාණු ප්‍රමාණය (White Blood Count) පරික්ෂාවට ලක් කරනවා. මෙය ගණනය කරනු ලබන්නේ, මයික්‍රෝලීටරයට ඇති සෛල ප්‍රමාණය ලෙසයි. ලේ වල ඇති මුළු සුදු රුධිරාණු සාමාන්‍යය අගය 4000 – 11000 වෙනවා. මෙම අගය ඉක්මවා යනවා නම් ඔබට බැක්ටීරියා ආසාදන තත්වයන් තියෙන්න පුළුවන්.


Platelets - ප්ලේට්ලට්

මේක නම් ගොඩක් අය දන්නවා ඇති. මෙම පරීක්ෂණයෙන්, ලේ වල මයික්‍රෝලීටරයට ඇති රුධිර පට්ටිකා අගයය බලනවා. එහි සාමාන්‍යය අගය මයික්‍රෝලීටරයට 150000 – 450000 පමණ වෙනවා. ඩෙංගු රෝගීන්ගේ රෝග තත්වය නිර්ණය කිරීම සඳහා කරන මූලික පරීක්ෂණයක් තමයි මේ. මේකෙදි නම් රුධිර පට්ටිකා වල පරාසය අඩු වුණොත් තමයි රෝගී බවට තහවුරු වෙන්නේ.


DLC

මෙම පරීක්ෂණයෙන් විශේෂක සුදු රුධිරාණු ප්‍රමාණය (Differential Leukocyte Count) ගණනය කරනවා. විවිධ සුදු රුධිරානු වර්ග වල අගයන් මනිනු ලබන අතර එම අගයන් ආශ්‍රයෙන් වෛද්‍යවරුන්ට පුළුවන් ඇතිවී ඇති රෝග තත්වය පිලිබඳ අනුමාන කරන්න, ඒ වගේම දැනට තීරණය කර ඇති රෝග විනිශ්චය තහවුරු කරගන්න. උදාහරණයක් විදිහට කියනවා නම් බැක්ටීරීය ආසාදනයකදී සාමාන්‍යයෙන් නියුට්‍රොෆිල ප්‍රමාණය ඉහළ යනවා. වෛරස ආසාදනයකදී වසා සෛල ප්‍රමාණය ඉහළ යනවා. ඒකෙ ප්‍රතිඵලය එම සෛල වර්ගය මුළු සුදු රුධිරානු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සඳහන් කරනවා.
මේ තියෙන්නේ එහි සාමාන්‍යය අගයයන්.

Neutrophils: 40 – 70%

Bands: 0 – 5%

Lymphocytes: 20 -50%

Monocytes: 4- 8%

Eosinophils: 0 – 6%

Basophils: 0 – 2% 

මේ බෑන්ඩ්ස් (Bands) කියලා කියන්නේ නොමේරු සුදු රුධිරානු. යම් මූලික ආසාදන (Acute Infection) අවස්ථා වලදී මෙය ඉහළ අගයයක් ගන්නවා. මොකද ආසාදන තත්වයක් ඇති වූ විට ඇටමිදුළු සුදු රුධිරානු වැඩියෙන් නිෂ්පාදනය කිරීමත්, ඉක්මනින් ඇටමිදුළු තුලින් නිකුත් කිරීමත් සිදු කරනවා.


RBC Indices

මේකෙන් අධ්‍යනය කරන්නේ රතු රුධිරාණු වල විවිධ ගුණාංග ගැනයි. ඒ කරුණු රක්තහීනතා තත්ව වලදී, එම තත්වයට හේතුව සොයා ගැනීමට උදව් වෙනවා.


RBC

එතකොට මේකෙන් රතු රුධිරාණු ප්‍රමාණය (Red Blood Count) බලනවා . පුරුෂයින්ගේ මෙය මයික්රෝලීටරයට සෛල මිලියන 4.5 – 6.5 ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ මයික්රෝලීටරයට සෛල මිලියන 4.0 – 5.5 ත් අතර ප්‍රමාණයක් වෙනවා.

Hct

මෙම පරීක්ෂණයෙන් රුධිරයේ සෛල ප්‍රතිශතය මනිනු ලබනවා. සාමාන්‍යයෙන් පුරුෂයින්ගේ මෙය 39% – 47% ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ 35% – 45% ත් අතර ප්‍රමාණයක් වෙනවා.

MCV

මෙමගින් රතු රුධිරාණුවක සාමාන්‍යය පරිමාව (Mean Corpuscular Volume) මනිනු ලබනවා. එහි අගය ෆෙම්ටෝලීටර (fL) වලින් මනින අතර සාමාන්‍යය පරාසය 79 – 93 fL ක්. යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වන අතර, විටමින් B හා ෆොලේට් වැනි විටමින් ඌනතා වලදී මෙය ඉහල අගයයක් ගන්නවා.

MCH

මෙහිදී එක රතු රුධිරානුවක ඇති හෙමොග්ලොබින් ප්‍රමාණයේ සාමාන්‍යය (Mean Corpuscular Hemoglobin) මනිනවා. සෛලයකට පිකෝග්රෑම් (pg/cell) ලෙසගණනය කරන අතර සාමාන්‍ය පරාසය 27 – 32 pg/cell වෙනවා. යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වීමක් සිදු වෙනවා.

MCHC

එක රතු රුධිරානුවක් සඳහා හෙමොග්ලොබින් සාන්ද්‍රණය (Mean Corpuscular Hemoglobin Concentration) මෙම දර්ශකයෙන් මනින අතර එහි සාමාන්‍ය අගය ඩෙසිලීටරයකට ග්රෑම් 32 – 36 අතර වෙනවා.

Reticulocyte count

රුධිරයේ ඇති නොමේරූ රතු රුධිරාණු (Reticulocytes) ප්‍රමාණය මුළු රතු රුධිරාණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කරනවා. සාමාන්‍යයෙන් මෙය 0.8% – 2.5% ත් අතර ප්‍රමාණයක් ගන්නා අතර රතු රුධිරාණු යම ආකාරයකින් විනාශ වූ විටක හා රුධිර වාහනයක් ඇතිවූ විටෙක ඇටමිදුළු වලින් නොමේරූ රතු රුධිරාණු වැඩි වැඩියෙන් නිකුත් කිරීම නිසා මෙහි අගය ඉහල යා යන්න පුළුවන්.