අවධානයෙන් ඉන්න - අද සිදුවුනු භූ චලනය ගැන විශේෂ දැනුම්දීමක්

Sri Lanka Earthquake
By Sithumi Mar 30, 2023 11:12 AM GMT
Report

භූ විද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ, අද (30) දහවල් වාර්තා වූ භූ චලනය පිළිබඳ අවදානමක් නොමැති වුවත් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

අද දින දහවල් 1.02 ට පමණ බේරුවල මුහුදේ කිලෝමීටර් 24ක් පමණ දුරින් වාර්තා වූ භූ කම්පනය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජ්‍යෙෂ්ඨ භූකම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන සඳහන් කළේ,

"මෙම චලනය අපගේ භූ කම්පන උපකරණ මධ්‍යස්ථාන හතරෙම සටහන් වුණා. බේරුවල සිට කිලෝමීටර් 24ක් දුරින් මුහුදේ රික්ටර් මාපාංක 3.7ක භූ චලනයක් වාර්තා වෙලා තිබෙනවා."

"කළුතර, මග්ගොන, බේරුවල, බෙන්තොට ඒ වගේම පිළියන්දල ප්‍රදේශවල ජීවත්වෙන මහජනතාව මෙම චලනය දැනුණු බවට වාර්තා කරලා තිබෙනවා."

"මෙවැනි භූ චලනයකින් සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නැහැ. සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි අවදානම් මට්ටම විදියට අපි සලකන්නේ රික්ටර් පරිමාණයේ 6.5ක් හෝ 7 වැනි අගයගෙන් ඉහළ ඒවා."

"ලංකාවේ භූගෝලීය පිහිටීම ගත්තාම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙන් කරන්න බැහැ. එක පිහිටීමක්. පසුගිය කාලයේ වාර්තාවූ සිද්ධිත් සමග අපගේ ආයතනය දීර්ඝ අධ්‍යයනක් සිදුකරමින් පවතිනවා."

"ඉතිහාසයෙත් මෙම ප්‍රදේශවලින් වරින්වර සුළු භූ චලන වාර්තාවෙලා තිබෙනවා."

"මේ පිළිබඳ අනිසි බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. නමුත් අවධානයෙන් ඉන්න. භූ චලනයක් ගැන යම් දැනීමක් ඇති වුණොත් කඩිනමින් දැනුවත් කරන්න." 


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now