ධම්මිකගේ අවසන් තීරණය අද..බැසිල් යළිත් පාර්ලිමේන්තුවට එයි???.

Basil Rajapaksa Ranil Wickremesinghe Dhammika Perera
By Aruna Jul 25, 2022 04:44 AM GMT
Report

හිටපු ඇමති ධම්මික පෙරේරා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ද ඉල්ලා අස්වන බවට පළ වූ මාධ්‍ය වාර්තා සමග පුරප්පාඩු මන්ත්‍රී ධූරයට තමන් පත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් විශාල පිරිසක් ඉල්ලා ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රී ලෙස පත් කරන ලැබුවේ බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට යි.

කෙසේ වෙතත් ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වනවා ද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද (ජූලි 25) ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පවත්වන බව ද ඊට පොදුජන පෙරමුණු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත බවද වාර්තා වේ.

ධම්මික පෙරේරා මහතා ඉල්ලා අස්වුවහොත් එම මන්ත්‍රී ධූරයට පත් කිරීමට තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බවට සඳහන් වුව ද ඒ පිළිබඳ අවසන් තීරණයක් තව ම ගෙන නොමැති බව ද පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මෙම මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති එස්. අමරසිංහ යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බවට වාර්තා වුවත් ඊට වඩා වැඩි පිරිසක් එම මන්ත්‍රී ධූරය ලබා දෙන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
Join now