ඔබත් බාලගිරි දෝශයට ලක්වු අයෙක්ද..? මොකද්ද මේ බාලගිරි දෝශය කියන්නේ.

Sri Lanka
By Subodha Aug 30, 2022 04:29 AM GMT
Subodha

Subodha

in රචනා
Report

අතීතයේ සිට කුඩා දරුවෙකු ඉපදීමත් සමග නාගරික හෝ ග්‍රාමිකව අතීතයේ සිට පැවත එන්නක් වු බාලගිරි දෝශය අදටත් පවතින්නක්. කුඩා දරුවෙකු ඉපදීමත් සමග ඔහු සිටින නිවසේ ඉදිරිපස දොරේ "බාලගිරි දෝශය අද නොවේ හෙට" කියා සදහන් කරනවා ඔබත් මමත් දැක ඇත්තක්. එසේ සදහන් කරත් බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් මෙම බාලගිරි දෝශය යනු කුමක්ද එසේ සදහන් කරන්නේ කුමක් හේතුවෙන්ද යන කාරණය.

මෙම වැකියේ සදහන් වන්නේ එක්තරා දේවතාවියක් ගැනයි. ඇය ගිරි ලිය දොලහ නමින් සිටින ගිරි දේවියයි. බාලගිරි යනු ඇගේ එක් වේශයකි. කුඩා දරුවන්ට වින කරන නිසා ඇය පිදිම මේරට අතිතයේ සිටම පැවත එන විශ්වාසයකි.

අතීතයේ දඹදිව දන්ත පුරයේ සිංහ කුමාර රජු හා හංසවතී දේවිය නමින් රජයුවලක් සිටියා. මේ යුවලට රූමත් දූ කුමාරිකාවක් සහ පුත් කාමාරයෙකු සිටියා ඒත් අනාවැකි කරුවන් මේ දරුවන් ගැන පැවසූ අනාවැකිය ඒතරම් හොඳ එකක් වුණේ නෑ.

අනාවැකි කරුවන් මෙම දෙදෙනා අනාගතයේදි විවාහ වන බව පැවසිමත් සමග බොහෝ සෙයින් කම්පනයට පත්වු රජතුමන් හා දේවිය මෙම කුමාරිය ගල් ලෙනක සගවා පෝශණය කලා. ඇය ගල් ලෙනක සගවා  සිටි නිසා ඇයට ගිරි යන නම පටබැදුණු බව අතීතයේ සදහන් වනවා. පසු කාලිනවා ඔවුන් විවාහ වන වයසට පැමිණීමත් සමග රජ කුමරාට විවාහ විම සදහා සුදුසු කුමාරියක් සෙවිම සදහා ඈත ගම් නියම් ගම් වලින් කුමාරියන් 500කට අදික පිරිසක් ගෙන්වු බවද ජනප්‍රවාදයේ සදහන් .

මෙම කුමරුගේ නැගණය වු ගිරි කුමරියටද මෙයට සහභාගි විම සදහා අවසර ලැබුණි. ඇය මෙම උත්සවයට සහභාගි විමත් සමග ඇය දුටු කුමරුට ඈ ගැන ආදර සිතක් පහල වී ඇය විවාහ කර දෙන මෙන් ඉල්ලා සිටියය. පසුව කුමරුගේ බල කිරීමත් සමග මෙය අසම්මත ඇල්මක් නිසාත් මේ දෙන්නා එක් කුස ඉපදුණ සහෝදර සහෝදරියන් බව නොකියා විවාහය කරල දෙන්න රජ යුවල තීරනය කළා.

විවාහය වෙලා කාලය ගතවුණා. ගිරි කුමරිය ගැබ් ගත්තා. මෙච්චර කාලයක් මවුපියන් සගවා ගෙන සිටි රහස කොහොමහරි කුමරියට ආරංචි වුණා. එයාගෙ ස්වාමියා එයාගෙම සොහොයුරා බවත්, තම කුස දරා සිටින්නේ තමාගේම සොහොයුරාගේ දරුවෙකු බවත් දැනගත්ත කුමරිය ගොඩක් කම්පනයට පත්වෙලා මාලිගය ළඟ තිබුණ ගසක ගෙල වැළලාගෙන සිය දිවි හානි කර ගත්තා. මේ හේතුවෙන් කම්පාවට පත් දළ කුමරු වනගත වුණා. කාලයක් වනයේ වාසය කළ කුමරු මියගිහින් "ගරා යකා" ලෙසින් ඉපදුණා. සමාජයේ ජනප්‍රිය "ගරා යකා ලෙස හදුන්වන්නේ මොහුය.

මෙම ජනප්‍රවාදයට අමතරව තවත් බොහෝ කතා ඇත තරුණ වියට පත් දළ කුමරාට මෙසේ ලෙනක සඟවා ඇති දැඩි කරන ගිරි දේවිය ගැන අසන්නට ලැබුණේය. කීපවරක්ම බැලීමට අවසර ඉල්ලු නමුත් අවසර නොලැබිම නිසා දළ කුමරා බොරු ලෙඩක් හදා ගත්තේය. අවසානයේ අවසර ලැබිණි. ගිරි දේවිය දැකිමෙන් උන්මාදයට පත්වූ දළ කුමරා කෙසේ හෝ ඇය පොළබවාගෙන නිමිත්ත කී පාඨකයින් කී පරිදිම සංවාසයේ යෙදුනේය. ගිරිදෙවි අස්නේ එය මෙසේ දැක්වේ. 

රන්දම් සේ අත්දෙක                      අල්ලාගෙන

කැන්දා ගොස් යහනේ                  ඉන්දාගෙන

මන් දැන් විඳි දුක නුඹම                සිතාගෙන

රන් තලි මද යුද හැසුරුනු              කැන්දන

තම සොයුරා අතින් කෙලෙසුනු නිසා ගිරි දේවිය අවසානයේදි තම දිවිනසා ගත්තාය. ගෙළ වැලලාගෙන මියගිය කුමරිය ගැන දළ කුමරුට අසන්න ලැබුනේ පසුවය . මේ වනවිට ඇගේ සිරුර ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සඟවන ලද්දේය. ඒනිසා ගිරිකුමරියගේ සිරුර දැකගැනිමට දළ කුමරුට නොහැකිවිය. ඔහු සක්වල පුරා උන්මත්තකයෙකු ලෙස ගම්බිම් පාළුකරමින් සතුන් මරා දමමින් ගමන් කළේය .මෙසේ මිනිසුන්ට වන හානිය දුටු ශක්‍ර දෙවියන් දළ කුමරුට කුමරියගේ සිරුර පෙන්වා පසුව ඇගේ පණ පිහිටුවා ශක්‍ර භවනට ගෙනගියේයැයි කියවේ .

ගිරි දේවිය වරක දේවතාවියකි වරක යක්ෂණියකි. එසේම දළකුමරා වරක දෙවියෙකි වරක යක්ෂයෙකි. . ඔවුන් දෙදෙනාටම වෙන්වූ දේවාල ලංකාවේ කිසි ස්ථානයක නැතිමුත් දෙදෙනාම අදත් ලංකාවේ නොයෙක් පලත්වල පුද ලබති. ගිරිදේවිය මෙන්ම ගරායක්ෂයා හටද අවතාර 12ක් ඇති බවද ජනප්‍රවාදයේ මතයක් හා විශ්වාසයක් පවතී. දළකුමරුට සියලුම කැතකුනු කිලි ඉවත්කිරිමේ බලයක් ඇත . එම බලය ලැබුනේ තම එකකුසින්ම උපන් සොහොයුරිය සමග සංවාසයේ යේදිම නිසා බව පැවසෙයි. මෙම දෝෂ පහ කිරිමේ හැකියාව නිසා සියලුම ගම්මඩු බලි තොවිල් අවසානයේ ගරා යාකා පුදකිරිම සිදුකෙරේ .

සමහර නව නිවාසවල හෝ නිවාස ඉදිරිපිට යක් මුහුනක් තබා ඇත්තේ මේ ගරායකා සිහිකිරිමටයි.ඔහුට ඇස්වහ කටවහ නැතිකිරිමට බලයක් ඇතිබව ගැමි විශ්වාසයි. අළුත උපන් කුඩා ලදරුවන් නිරන්තරයෙන් අධික ශබ්දයකින්, දිගු වේලාවක් හැඬීම බාලගිරි දෝෂය ලෙස සිංහලයන් හඳුන්වයි. කුඩා දරුවන් ඉපදී මාස 03 ක කාලයක්‌ දක්‌වා පෙර විසූ ආත්මය පිළිබඳව සිහිනෙන් දකිතැයි වැඩිහිටියෝ සිතයි.

වැඩි කාලයක්‌ නින්දෙන් ගත කරන සිඟිත්තෝ අඬන බව, සිනාසෙන බව අප නිතර දකියි. ඒ වගේම නිතර ඇස්‌ දෙක උඩ හොවාගෙන සිටීම, මව්ගෙන් කිරි ඉල්ලා ඇදුම, වෙනකෙකුට දරුවා සනසාලිය හැකි වුවත් මව්ට නොහැකි වීම, ඇස්‌ උඩ හිදුවා නිතර ඇඬිම ආදී නොයෙකුත් දෑ අප දැක ඇත. මෙයට අප බොහෝ දෙනෙක්‌ "බාලගිරි දෝෂය" යෑයි කියති.

ඉපදී මාස 12 ක කාලය තුළ දී එක්‌ එක්‌ මාසයට යක්‌ෂ යක්‌ෂනියන් දොළොස්‌ දෙනෙකු දරුවන් වෙත එළෙඹ මෙසේ දරුවන් බියගැන්වීම්, වඩා ගැනීමට තැත් කිරීම් ආදී දෑ කරන බව පොත පතෙහි සඳහන් වේ. බාලගීරි, නීලගිරි, මදනගිරි, සඳුන්ගිරි, අඳුන්ගිරි යනාදි යක්‌ෂ යක්‌ෂනියන් මේ කාලයේදී දරුවන් බිය ගන්වමින් නොයෙක්‌ දෝෂ කරන බව පොත පතෙහි සඳහන් වේ. එයින් දරුවන් බේරා ගැනීම පිණිස අලුත උපන් දරුවන් සිටින නිවසේ ඉදිරි පස දොරේ සියල්ලන්ටම පෙනෙන අයුරින් "බාලගිරි දෝශය අද නොවේ හෙට" යනුවෙන් සදහන් කොට ඇති බවද ජනප්‍රවාදයේ මතයක් හා විශ්වාසයක් පවතී.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
Join now