රට රකින රජෙක් සතු තිබිය යුතු ගුණ 10.

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Government
By Wayomi May 15, 2022 09:21 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දවස්වල ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කම්මුතු වෙලා. මුළු ලෝකයක් ඉදිරියේ වැජඹුණු ලංකාවේ ගරු නම්බුනාම සියල්ලම සේදී ගිහින්. ඒ ධර්මිෂ්ඨ බව පෙන්වමින් කළ අධර්මිෂ්ඨ පාලනයක් නිසයි. ඉතින් බෞද්ධයන් වශයෙන් බුදු තෙමගුල සමරන මේ පුන් පොහෝ දිනයේ කතා කරන්නේ බුදුදහමට අනුව රාජ්‍යයක් රටක් පාලනය කිරීමට රජෙකුට, එහෙමත් නැත්නම් පාලකයෙකුට තිබිය යුතු ගුණාංග මොනවද කියලයි. බුදු දහමේ නම් මේ ගුණාංග වලට කියන්නේ දස සක්විති සක්විති වත් කියලා.  ඒ ගැන දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ දැක්වෙන එක්තරා ජනප්‍රවාද කතාවකින් මං පටන් ගන්නම්.

" අතීතයේ " දල්හනේමි " නම් සක්විති රජ කෙනෙක් ජීවත් වෙලා තියෙනවා. ඔහු ධාර්මිකව රට පාලනය කළ නිසා සප්තරත්න නමින් වටිනා සම්පත් හතක් පහල වුණා. ඒකේ පළවෙනි එක තමයි චක්‍රරත්නය. එය රාජ්‍යත්වය සංකේතයයි. දිගු කාලයක් ධාර්මිකව රට පාලනය කළ එම රජු පසුව තම වැඩිමහල් පුතුට රජකම පවරලා තපස් රකින්න ගියා. ඒ, යම් කිසි ගැටළුවක් ඇති වුනොත් තමාට දැනුම් දෙන ලෙස පවසමින්. (ඒ කාලේ හැටියට රජකම් උරුම වුණේ පරම්පරාවෙන්.එය වර්තමානයට සම්බන්ධ කර නොගන්න).

පුතා රාජ්‍ය පාලනය කරන කාලයේ ටික කාලයක් යන විට අර චක්‍රරත්නය අතුරුදහන් වුණා. ඉතින් ඔහු ඉක්මනින්ම මේ බව තම පිය රජතුමාට දන්වා සිටියා. එවිට එතුමා තම පුතාව අමතලා මෙහෙම කියනවා " දරුව, මෙම සක්විති රජකම ඔබට පිය උරුමයෙන් හිමි වන්නක් නොවේ. ඒ සඳහා නිසි පිළිවෙත් පුරා සුදුස්සෙකු විය යුතුයි. පුන් පොහෝ දිනක මෙම රාජ්‍ය පාලන ප්‍රතිපත්ති 10 සමාදන්ව එය රැකීමට යොමුවන්න. එවිට නැතිවුන සම්පත් නැවත හිමිවෙයි." "   

ඉතින් ඒ අනුව පිය රජතුමා විසින් තම පුතුට පෙන්වා දුන්න ප්‍රතිපත්ති 10 මොනවද කියලා දැන් ඉන්න විමසලා බලමු.

ඔබ ධර්මය ඇසුරු කරමින් , ධර්මයට ගරු කරමින්, ධර්මයට බුහුමන් කරමින් , ධර්මය පුදමින්, ධර්මයට යටහත් පැවැතුම් දක්වමින්, ධර්මය ධජයක් සේ පෙරටුකොට, ධර්මය කුන්තයක් සේ ඔසවාගෙන, ධර්මය ස්වාමියා ලෙස ගෙන,

- ඔබගේ අඹු දරුවන් ඇතුළු රජ පවුලේ පිරිසට ධාර්මික රැකවරණය සලසන්න.

- රට රකින බළ සෙනඟට ( රණවිරුවන්) ධාර්මික රැකවරණය සලසන්න.

- රාජ්‍ය සේවයේ නියුතු විවිධ තනතුරු දරන ක්ෂත්‍රීය පිරිසට ධාර්මික රැකවරණය සලසන්න. (රාජ්‍ය සේවකයන් )

- කෘෂිකර්මාන්තය ආදී නිෂ්පාදන කටයුතු වල නිරත බ්‍රාහ්මණ ගෘහපතීන්ට ධාර්මික රැකවරණය සලසන්න. (ගොවීන්, ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් )

- කුඩා ගම් වල වැසියන්ට හා ජනපද වැසියන්ට ධාර්මික රැකවරණය සලසන්න.

- ජනතාවගේ සදාචාර සංවර්ධනයට මග පෙන්වන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසට ධාර්මික රැකවරණය සලසන්න. ( සියලු ආගම් සහ එහි ශාස්තෘන් වහන්සේලා )

- තිරිසනුන්ට හා පක්ෂීන්ට ධාර්මික රැකවරණය සලසන්න.

- රටේ අධාර්මික ක්‍රියා ඇති නොවන අයුරින් කටයුතු කරන්න .

- දිළිඳු ජනයාට ධනය දෙන්න .

- සිල්වත් , ගුණවත් , වියත් මහණ බමුණන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගනිමින් රට පාලනය කරන්න. ( ගුරුවරුන් , විද්වතුන්, වැඩිහිටි සහ සුදුසු පිරිස් )