අස්වැසුම ප්‍රතිලාභය ගැන අලුත්ම තීරණයක්..! ප්‍රමාණයත් ඉහළ දමයි..රාජ්‍ය සේවකයින්ටත් විශේෂ දීමනාවක්..

Consumers Welfare Association Ranil Wickremesinghe Government Employee Government Of Sri Lanka Latest Headlines
By Sewvandhi Feb 29, 2024 03:32 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, අස්වැසුම වැඩසටහනට සුදුසුකම් ලබන ප්‍රමාණය ලක්ෂ 24 දක්වා වැඩිකිරීමට කටයුතු කරන බවයි.

විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති අස්වැසුම ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රාජ්‍ය සේවකයින්ගේ රුපියල් දස දහසකින් ඉහළ දැමීම අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළා. එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීමට අද මා විල්ගමුවට පැමිණ තිබෙනවා. ජනාධිපති ධූරයේ වගකීම මා භාරගත්තේ රටේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත්ව තිබූ අවස්ථාවකයි. එදා ආර්ථික අර්බුදයන් රට ගොඩගැනීම සඳහා කිසිදු නායකයෙක් ඉදිරියට ආවේ නැහැ. එවැනි බංකොලොත් පරිසරයක් තුළ ජනතාවගේ රැකියා අහිමිවී ජීවත්වීම පිළිබඳ ගැටලු මතුව තිබුණා."

"එම නිසා රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම මා භාරගත්තා. ඒ අනුව ආර්ථික වශයෙන් රට ගොඩනැඟීමට අප කටයුතු කළා. ඉන්පසුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් අප “අස්වැසුම”වැඩසටහන යටතේ මූල්‍ය ආධාර පිරිනැමීමට කටයුතු කළා. ඒ අනුව අස්වැසුම හරහා සමෘද්ධිය මෙන් තුන් ගුණයක ආධාර ජනතාවට ලබා දීමට අපට හැකියාව ලැබුණා. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ අවශ්‍ය සියලුදෙනා හඳුනා ගෙන එම ආධාර ලබාදීම අපේ අරමුණයි. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු හඳුනාගෙන කටයුතු කිරීමෙන්මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා."

"අපේ රටේ සමෘද්ධිලාභීන් සිටියේ ලක්ෂ 16ක පමණ පිරිසක්. නමුත් අස්වැසුම ප්‍රතිලාභීන් ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට රජය කටයුතු කළා. ලබන අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක් ඔවුන්ට හිමි වෙනවා. 2015 වසරේ අගමැතිවරයා ලෙස රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට මම කටයුතු කළා. නැවත වැටුප් වැඩිකිරීමක් වසර දහයකින් කිරීමට නියමිතව තිබුණත් ආර්ථික පීඩාකාරී තත්ත්වය නිසාම 2024 දී එය සිදු කිරීමට අප තීරණය කළා. ඒ වගේම අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. 1935 සිට ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් බලපත්‍ර ලැබූ සියලුදෙනාට උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය හිමි වෙනවා. තමාට ඉඩමේ නීත්‍යානකූල අයිතිය හිමි වීම නිසා දිගු කලක් තිස්සේ එම ජනතාවට මුහුණ දීමට සිදුවූ ගැටලුවට විසදුම් ලැබෙනවා."

"උරුමය වැඩසටහන යටතේ ලක්ෂ විස්සකට සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමට කටයුතු කරනවා. මෙම වසර අවසන් වන විට ඉඩම් ඔප්පු ලක්ෂ දහයක් ලබාදීමට කටයුතු කරනවා. මේ සියලුම වැඩසටහන් යටතේ ජනතාවට සුරක්ෂිත ආර්ථිකයක් ගොඩනගා දීම අපේ අරමුණයි. අස්වැසුම සහ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට විශාල වැඩකොටසක් පැවරෙනවා. ජනතාවට යහපත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් අප ඒ සඳහා කැපවී කටයුතු කළ යුතුයි."

"මේ වැඩසටහන සමඟ රටේ ආර්ථිකය ද අපි පරිවර්තනයකට ගෙන යා යුතුයි. දැන් රටේ ආර්ථිකය ධන වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙනවා. එම නිසා මේ පළාත තුළ ආදායම් මාර්ග වර්ධනය කිරීමට හැකි සැලසුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම සංචාරක කලාපයක් ලෙස මෙම පළාත දියුණු කළ හැකියි. නවීන කෘෂිකර්මාන්ත භාවිතය සහ අපනයන කුළු බඩු කර්මාන්තය සංවර්ධනය කිරීමටත් සැලසුම් කර තිබෙනවා. කොකෝවා සහ කෝපි වගාවන් සඳහා නව ආයෝජකයන් සහිතව නව වගාවන් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජීවත නඟාසිටුවීමට අප බලාපොරොත්තු වෙනවා."