දුරකතන දැවැන්තයාට මොකද වුණේ - ඇපල් සමාගම තාරුණ්‍යයේ සිහින බොඳ කරමින් සියල්ල අතහැර දමයි..

Apple Electric Vehicle Latest Headlines
By Sewvandhi Feb 29, 2024 11:51 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පරිසර හිතකාමී විද්‍යුත් වාහන සඳහා ලොව පුරා ඉල්ලුම ඉහළ යද්දී, අමෙරිකානු ඇපල් තාක්ෂණික සමාගම ඔවුන්ගේ විදුලි වාහන නිපදවීමේ සැලසුම් අත්හැර දමා ඇති බවයි.

මීට දස වසරකට පමණ පෙර, අයිෆෝන් නිෂ්පාදනය කරන ඇපල් සමාගම විදුලි මෝටර් රථයක් නිපදවීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේය. කෙසේ නමුත් විදුලි වාහන ව්‍යාපෘතිය අත්හැරීමේ පුුවතත් සමග ඇපල් සමාගමේ කොටස් මිල සාපේක්ෂව ඉහළ යාමක් වාර්තා වෙයි.

ඇපල් විදුලි වාහන ව්‍යාපෘතියේ නිරතව සිටි ඇතැම් සේවකයන් සමාගමේ ‍AI හෙවත් කෘත්‍රිම බුද්ධි අංශයට අනුයුක්ත කර ඇති බවයි , බ්ලුම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

මෑතකදී තාක්ෂණික සමාගම්වල ශීඝ්‍ර වර්ධනයට හේතු වූ AI තාක්ෂණයට වැඩි අවධානයක් යොමු කිරීම ඇපල් සමාගමට ද ප්‍රතිඵලදායක වනු ඇති බව එහි කළමනාකාරීත්වයේ අදහස ය.

ගූගල් අයත් ඇල්ෆබට් සමාගම සහ මයික්‍රොසොෆ්ට් සමාගම සිය නිෂ්පාදන පෙළ සඳහා AI තාක්ෂණය අනුබද්ධ කර ඇති අතර ඇපල් සමාගම මෙතෙක් එවැනි දැවැන්ත පියවරකට එළඹී තිබුණේ නැත.

පරිසර හිතකාමී වුවද උද්ධමනය පාලනය කිරීම සඳහා පොලි අනුපාත ඉහළ නැංවීම ආදී කරුණු හේතුවෙන් සාපේක්ෂව මිලෙන් වැඩි විද්‍යුත් මෝටර් රථ සඳහා ඉල්ලුම අඩුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි.

මේ නිසා ලොව ප්‍රමුඛතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා වන ටෙස්ලා සමාගම පවා ආයෝජන කපා හැරීමටත්, රැකියා කප්පාදු කිරීමටත් පෙළඹී ඇත. ඇතැමුත් සම්පුර්ණයෙන් බැටරි බලයෙන් ක්‍රියාකරණ විද්‍යුත් වාහන වෙනුවට හ'බ්‍රිඩ් මාදිලි නිෂ්පාදනයට යොමු වී තිබේ.

දැන් අත්හැර දමා ඇති ටයිටන් (Titan) ලෙස නම් කෙරුණු ඇපල් සමාගමේ ව්‍යාපෘතිය යටතේ 2024 දී හෝ 2025දී විද්‍යුත් මෝටර් රථයක් ඉදිරිපත් කිරීමට මුලින් සැලසුම් කර තිබුණේය.