ඊයේ රෑ ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි..

Israel Iran World Israel-Hamas War
By Aruna Apr 14, 2024 02:10 AM GMT
Report

ඉරානය විසින් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වනවා.

ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ප්‍රහාරයෙන් ඉරාන කොන්සල් කාර්යාලයේ සිටි පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර හමුදා ප්‍රධානීන් 05 දෙනෙකු ද ඒ අතර වුණා.

අදාළ ප්‍රහාරයට පළි ගැනීමක් වශයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන නායකයා ප්‍රකාශ කර තිබූ අතර ඊයේ රාත්‍රී එම ප්‍රහාරය දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

එහිදී බැලැස්ටික් මිසයිල ප්‍රහාර ද එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් ද නතර කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම යුධමය තත්ත්වය පිළිබදව අමෙරිකාව ඇතුළු රටවල් රැසක අවධානය යොමුව ඇති අතර, අමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.