එංගලන්තයට එරෙහි ඓතිහාසික ජයත් සමඟ සංගාගෙන් ක්රිකට් බලධාරීන්ට රතු එළියක්?
පවන්, දසුන්, ජනිත් සහ අවිශ්කගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ශ්රී ලංකාව අත්කරගත් ඓතිහාසික ජයග්රහණය ඉහළින් සැමරීමට කණ්ඩායමට පූර්ණ අයිතියක් ඇති බව ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.
සිය 'X' ගිණුමේ සටහනක් තබමින් සංගක්කාර පෙන්වා දෙන්නේ, මෙම සුවිශේෂී ජයග්රහණයේ සතුට භුක්ති විඳින අතරම ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝග ජයගැනීම සඳහා ද කණ්ඩායම අවධානය යොමු කළ යුතු බවයි.
ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී දකුණු අප්රිකාවේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්රී ලංකා කණ්ඩායම ශක්තිමත් කිරීම සඳහා දිගුකාලීන සැලසුම් සකස් කර ක්රියාත්මක කිරීමේ වගකීම ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් සතු බව ද ඔහු අවධාරණය කරයි.
ඒ අනුව, වත්මන් ජයග්රහණය ශක්තිමත් පදනමක් කරගනිමින් කණ්ඩායම ඉහළම තරගකාරී මට්ටමකට ගෙන ඒම සඳහා ක්රමානුකූල වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීම අත්යවශ්ය බව සංගක්කාර සිය සටහනෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර, පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය යටතේ අද (22) පැවැති තරගයෙන් එංගලන්තය කඩුලු දෙකකින් පරාජය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේදී එංගලන්තය ශ්රී ලංකාවට ජයග්රහණය සඳහා ලකුණු 430ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නේය. එම අභියෝගාත්මක ඉලක්කය හඹා ගිය ශ්රී ලංකා පිතිකරුවෝ පන්දු 5ක් පමණක් ඉතිරිව තිබියදී, එනම් පන්දුවාර 49යි පන්දු 5කදී, ජයග්රාහී සීමාව පසුකර යමින් ක්රිකට් ඉතිහාසයේ අමතක නොවන ජයක් වාර්තා කිරීමට සමත් වූහ.
While @OfficialSLC should enjoy this monumental victory with special performances from Pavan, Dasun, Janith and Avishka there is still a lot to do working back from the WC in South Africa next October to build to where the team needs to be.
— Kumar Sangakkara (@KumarSanga2) October 22, 2026