කෑමෙන් වින කරන "ඇෆ්ලටොක්සින්"
ආහාර කියන්න මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වගේ නිරෝගී බව රැක ගන්නත් ඉවහල් වෙනවා. ඒ නිසාම හැමදාමත් කියනව වගේ අපි නිතරම ආහාර වල ගුණ අගුණ හොයනවා. හැබැයි දැන් නම් අපි කන ආහාර වල ගුණයක් නම් හොයන්න නෑ. මොකද කන බොන හැමදේම තියෙන්නේ සිරුරට අහිතකර විෂ සංඝටකයි. ඉතින් අද කතා කරන්න යන්නෙත් පහුගිය කාලේ වැඩිපුර කටහබහට ලක්වුණ "ඇෆ්ලටොක්සින්" ගැනයි.
ඇෆ්ලටොක්සින් කියන්නේ පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක්. ලෝකයේ ඇෆ්ලටොක්සින් වර්ග 14 ක් පමණ තිබෙනවා. නමුත් ඉන් මිනිසාට සහ සතුන්ට හානිදායක වන්නේ වර්ග 4 ක් පමණයි. මෙය ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ Aspergillus flavus සහ Aspergillus parasiticus නම් දිලීර එහෙමත් නැත්නම් පුස් වර්ගය යොදාගෙන. මේවා ලෝකයේ උණුසුම් හා තෙතමනය සහිත ප්‍රදේශවල බහුලව දකින්න ලැබෙනවා.
ඇෆ්ලටොක්සින් කියන්නේ හයිඩ්‍රොකාබන වලලු පහක් එකිනෙක බැඳී සෑදුන රසායනිකයක්. එහි පාරජම්බුල කිරණ හමුවේ නිකුත් වන ෆ්ලොරසන්ට් ආලෝකයේ වර්ණය අනුව මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි වර්ග 4ක් තියෙනවා. මේ රසායන ද්‍රව්‍ය හඳුනාගත හැකි ආකාරයට B1,B2 නිල් පාටයි, G1,G2, කොළ පාටයි. Aspergillus parasiticus විසින් B G දෙවර්ගයම නිෂ්පාදනය කරන අතර Aspergillus flavus නිෂ්පාදනය කරන්නේ B වර්ගය පමණයි.
මිනිසුන් ඇෆ්ලැටොක්සින් වලට නිරාවරණය වන්නේ කොහොමද?
කෘෂිකාර්මික නිෂ්පාදන මත හැදෙන මෙම දිලීර වර්ගය තෙත්, උණුසුම් ස්ථානයක වැඩි කාළයක් ගබඩා කිරීම නිසා වර්ධනය වීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම මේවා කජු, මඥ්ඥොක්කා, ඉරිඟු, මිරිස්, හාල්, වී, සෝයා, තිරිඟුපිටි, විවිධාකාර වෙනත් ඇට වර්ග සහ කුළුබඩු වර්ග මත වර්ධනය වන අතර ඒ නිසා මේ දේවල් භාවිතයට ගත යුත්තේ හොඳින් අව්වේ වියලලා.
ආහාර මඟින් ශරීරයට ඇතුළු වන ඇෆ්ලටොක්සින් වැඩි වශයෙන්ම හානි කරන්නේ අක්මාවට. අක්මාවේ ඇති සයිටක්‍රෝම් P 450 මගින් ඇෆ්ලටොක්සින් සක්‍රීය කරනවා. එය සිරුරේ වූ DNA හා සම්බන්ධ වී DNA නිෂ්පාදනය අවහිර කිරීම, DNA ප්‍රතිවලිත වීමට බාධා කිරීම, පිළිකා කාරක ජාන සක්‍රීය කිරීම, සෛල විභේදනය විකෘති කිරීම යන කරුණු මගින් සාමාන්‍ය සෛල පිළිකා කාරක සෛල බවට පත් කරනු ලබනවා.පසුව පිළිකා සෛල වේගයෙන් විභේදනය වෙමින් පිළිකාව ඇතිකරනු ලබනවා.