ජනතාව දැඩි අපහසුතාවට ලක්කරන දේකට තවත් මිල සූත්‍රයක්...

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Apr 10, 2023 01:42 AM GMT
Report

මෙරට පුද්ගලික රෝහල් සහ රසායනාගාර විසින් වෛද්‍ය පරීක්ෂණ සඳහා හිතූ හිතූ මිල ගණන් අය කිරීමෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බව වාර්තා වනවා.

දැනට භාවිතා වන වෛද්‍ය පරීක්ෂණ සිය ගණනක් පැවතුනද ඉන් පාලන මිලක් නියම කොට ඇත්තේ පරීක්ෂණ වර්ග හතරක් සඳහා පමණක් වන අතර, ඒ කොවිඩ් PCR පරීක්ෂණය, කෝවිඩ් ඇන්ටිජන් පරීක්ෂණය, ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා ය.

මේ හැර අනෙකුත් පරීක්ෂණ සම්බන්ධයෙන් පුද්ගලික රෝහල් රෝගීන්ගෙන් මුදල් ගසාකන බව ද වාර්තා වේ.

මෙම උපරිම මිලක් නියම කර ඇති පරීක්ෂණ සම්බන්ධයෙන් ද එම මිල සීමාවන් උල්ලංඝනය කිරීම හේතුවෙන් පාරිභෝගික අධිකාරිය කළ විමර්ශනවලදී ඒ මත නඩු පැවරීම හරහා පසුගිය දිනවල පුද්ගලික රෝහල් සහ රසායනාගාර ගණනාවකට රුපියල් ලක්ෂ 70 ක් දඩ මුදල් නියම වූ බවද පසුගියදා වාර්තා කෙරිණ.

එවැනි තත්ත්වයක් තුළ පාලන මිලක් නියම කර නොමැති පරීක්ෂණ සම්බන්ධ තත්ත්වය කෙබඳු දැයි වටහා ගත හැකිවේ.

මේ අනුව එදිනෙදා බහුලව සිදු කරන සීනි පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ, කොලෙස්ට්‍රෝල් පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ ගණනාවක් සම්බන්ධ පාලන මිලක් නියම කර නොමැති බැවින් රෝගීන් දැඩි අපහසුතාවයකට ලක්වන බව ද වාර්තා වේ.

මේ පිළිබඳව පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

” රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සඳහා එක සමාන මුදලක් ගන්න බහුතරයක් රෝහල් හා රසායනාගාර එකඟ වන්නේ නැහැ.

ඊට ප්‍රධානම හේතුව පැමිනෙන රෝගියා වෙනුවෙන් ලබාදෙන පහසුකම්. සමහර ආයතන තියෙනවා වායුසමීකරණය කරලා. ඒ වගේම පරීක්ෂණ සඳහා නව මැෂින් යොදලා වල තියෙනවා.

ඒ වගේම බහුතරයක් පරීක්ෂණ වල නම් හැදින්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්.

ඒකෙන් බහුතරයක් රෝගීන්ට විශාල අසාධාරණයක් වෙනවා. ඒ වගේමයි මිල සඳහනක් නැහැ.

වෛද්‍ය පරීක්ෂණ සඳහා එකම මිලක් යන යෝජනාවට හැම පාර්ශවයක්ම එකඟ වෙන්න ඕන ජාතික වශයෙන්.

ඒ වගේමයි මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න ඕනෑ පොදුවේ ගත් කළ රෝගීන්ට විශාල අසාධාරණයක් වෙනවා”.

පාරිභෝගික කටයුතු අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යූ. රන්ජන මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවසීය. ”

පාරිභෝගික අධිකාරිය මගින් රසායනාගාර පරීක්ෂණ හතරක් සම්බන්ධව පාලන මිලක් නියම කරලා තියෙනවා. ඒ සම්බන්ධව පසුගිය දිනවල වගේම ඉදිරියටත් අඛණ්ඩව වැටලීම්, විමර්ශන සිදු වෙනවා.

අනෙකුත් රසායනාගාර පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් සෘජුව මැදිහත් වීමට හැකියාවක් නෑ. ඒ පිළිබඳ නීතිමය ප්‍රතිපාදන දැනට නැහැ.

මේ සම්බන්ධව යම් යෝජනාවක් සිදු කරලා තිබෙනවා. ඒව තාම යෝජනා මට්ටමේ තමයි තියෙන්නේ”.

මේ අනුව අසරණ රෝගීන් පීඩාවට පත්කරමින් පුද්ගලික රෝහල් සහ රසායනාගාර හිතු හිතූ ගණන් ගාස්තු අය කරමින් රෝගීන් ගේ මුදල් ගසා කන මාෆියාව නැවැත්වීම සඳහා අදාළ බලධාරීන් ඉක්මනින් නීති සැකසිය යුතු නොවේද?

ලංකාදීප –ලිපියක් ඇසුරින් උපුටා ගැනීමක්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now