සියලු දුම්රිය මගීන්ට අද සිට ආසන වෙන්කර ගන්න නව ක්‍රමයක්..වැඩේ හරිම පහසුයි..

Sri Lanka Railways Department of Railways Railways
By Aruna Mar 14, 2024 04:40 AM GMT
Report

අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද රාත්‍රී 7 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීම සිදුකළ හැකි බවයි.

ආසන වෙන් කිරීමේ දී මේ දක්වා 40%ක ප්‍රතිශතයක් පමණක් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට අවස්ථාව සලසා දී තිබු අතර අද සිට එය සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුවනු ඇති බවයි පැවසෙන්නේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණ ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමට මගීන්ට පෙර සිදුවුවද අද සිට ආසන වෙන් කිරීමේ පත්‍රිකාවේ ඡායාරූපයක් සන්තකයේ තබාගැනීම පමණක් ප්‍රමාණවත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව රාජ්‍ය සේවකයින් සඳහා හිමිවන නිදහස් බලපත්‍රය වෙන් කිරීමේ අවස්ථාවද මාර්ගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබීම ද විශේෂත්වයක්.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා කිසිදු අය කිරීමක් සිදුකිරීමට තීරණය කර නොමැති අතර එලෙස මුදල් අය කිරීමක් සිදුවන බවට සිදුවන ප්‍රචාර අසත්‍යය බවයි.

මේ අතර දුම්රිය මඟින් සංචාරක ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් "දුන්හිඳ ඔඩිසි" නමින් නව දුම්රියක් ඉදිරියේ දී හඳුන්වාදීමට කටයුතු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අප්‍රේල් මස 05 වන දින සිට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අදාළ දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මීට පෙර ද දුම්රිය මඟින් සංචාරක ක්‍ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ අරමුණින් "ඇල්ල ඔඩිසි‍" සහ "සීතාවක ඔඩිසි" නමින් දුම්රිය දෙකක් හඳුන්වාදීමට කටයුතු කළා.