වහාම ක්‍රියාත්මක වන පරිදි බෙහෙත් ඖෂධයක් තහනම් කරයි..ප්‍රධාන රෝහල් 06ක් ගැනත් තීරණයක් ගනී..

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Apr 21, 2023 02:51 AM GMT
Report

දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් අනුවයි.

ඒ අනුව මේ වන විට පුරප්පාඩුව පවතින එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකාරි කටයුතු මෙම පත් කිරීම් හරහා ඉදිරියේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති.

ඒ අනුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, උඩුගම මූලික රෝහල, කඹුරුපිටිය මූලික රෝහල, කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල, දික්ඔය මහ රෝහල හා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත් කරනු ලැබූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඉන්දියාවෙන් ගෙන්වූ ඇස් සඳහා භාවිත කරන පෙරෙඩ්නිසොලෝන් දියර තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබෙනවා.

ඒ භාවිතයෙන් පසු ආසාදන තත්ත්වයන් මතුවීම හේතුවෙන්.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය ප්‍රකාශ කළේ, අදාළ ඖෂධය රෝහල් වෙත සැපයීමද මේ වනවිට අත්හිටුවා ඇති බවයි.

ජාතික අක්ෂි රෝහලේ සිදුකළ ශල්‍ය කර්මවලින් පසුව එකවර රෝගීන් තිදෙනෙකුගේ ආසාදන මතුවීම හේතුවෙන් ප්‍රශ්නගත තත්ත්වය උද්ගත වූ බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එම ශල්‍යකර්ම සඳහා භාවිත කළ සියලු ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ බව ද සඳහන්.

එක් ඖෂධයක් මෙම ආසාදනවලට හේතුවී තිබෙන බව පැය 48 කට පසු ලැබුණු වාර්තා අනුව හදුනාගෙන ඇත.

ආසාදන මතුවූ රෝගීන් ශල්‍යකර්මවලට ලක් කළ ශල්‍යගාර තුළ එම විෂබීජය තිබිය හැකි බැවින් ඒවා වසා දැමීමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now