ජනතා පරමාධිපත්‍යය බලය සුරකින්නේ 19 ද? නැත්නම් 20ද ? - සිතීමේ අයිතිය ඔබ සතුයි.

19th Amendment 20th Amendment Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka Government Gazette
By Wayomi May 03, 2022 10:43 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මේ දිනවල අරගල අස්සේ කරළියට ආපු චරිත දෙකක් ගැන පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වෙනවා. ඒ, 19 වන 20 වන ව්‍යවස්ථා සංශෝදනයන්. 19, 20 ඇසට හුරු කරගන්න වගේම ඒවා ගැන දැන හඳුනා ගන්නත් හොඳම කාලය තමයි මේ. ලොකු පොඩි කවුරුත් මේ දේවල් ගැන දැනගෙන සිටීම නුවණට හුරුයි.

මුලින්ම අපි බලමු 19න් සංශෝදනය වුණේ මොනවද කියලා. 


  1. රජයේ අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, මණ්ඩලයක පවතින ඕනෑම තොරතුරක් වෙත ප්‍රවේශ වීමට ජනතාවට ඇති අයිතිය. 
  2. ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 06 සිට වසර 05 දක්වා අඩු කිරීම.
  3. 18 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයා වශයෙන් පත්විය හැකි වාර ගණනේ සීමාව ඉවත් කළ අතර 19 සංශෝධනයෙන් නැවත එය වාර 02ක් දක්වා සීමා  කරලා තියෙනවා.
  4. ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු වෙනවා.
  5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා ඇති අතර සාමාජිකයින් දස දෙනෙකුගෙන් යුත් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිත්වය කථානායකවරයා වෙත පවරා තිබෙනවා.
  6. ස්වාධීන කොමිෂන් සභා 09ක් පිහිටුවා ඇති අතර ඒවා නම්, මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව වේ. මැතිවරණ කොමිෂන් සභාව හැර අන් සියළු කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වග කිව යුතුයි.
  7. කලින් සඳහන් කළ ස්වාධීන කොමිෂන් සභාවල සභාපති හෝ සාමාජිකයින් පත්කිරීම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පමණක් ජනාධිපතිවරයා විසින් කළ යුතු වෙනවා. එමෙන්ම එම කොමිෂන් සභාවල සභාපති හෝ සාමාජික තනතුරක වැඩ බැලීම සඳහා පත්කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත පමණක් කළ යුතුයි.
  8. කොමිෂන් සභාවල සභාපති හා සාමාජිකයින් වශයෙන් පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් නිර්දේශිත පුද්ගලයින්ව ජනාධිපතිවරයා විසින් දින 14ක් ඇතුලත එම තනතුරු වලට පත්කල යුතු වෙනවා. දින 14ක් තුල එසේ පත්කිරීමට ජනාධිපතිවරයා විසින් අපොහොසත් වූ විටෙකදී එම නිර්දේශිත පුද්ගලයින් කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස පත්කළ බවට සලකනවා.
  9. කොමිෂන් සභාවේ සභාපති තනතුර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් නිර්දේශිත නාමයෝජනා අතරින් අයෙක් ජනාධිපතිවරයා විසින් දින 14ක් තුල එම තනතුරට පත් කළ යුතු අතර එහෙම නොකලහොත් එම ලැයිස්තුවේ මුලින්ම නම සඳහන් වන පුද්ගලයා එම කොමිෂන් සභාවේ සභාපති ලෙස පත් කරනවා. කොමිෂන් සභාවල සභාපති හෝ සාමාජිකයින් ඉවත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් ලිඛිත නීතියක දක්වා ඇති පරිදි විය යුතු අතර එසේ නොවන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ව අනුමැතිය මත පමණක් ජනාධිවරයා විසින් ඔවුන් ඉවත් කළ යුතු වෙනවා.
  10. අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයින් පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් නිර්දේශ කිරීම සභාවේ අනුමැතිය මත පමණක් කළ යුතුයි.
  11. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා හා විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අග්‍ර විනිශ්චයාරවරයාගේ අදහස් ලබා ගත යුතු වෙනවා.
  12. නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඞ්ස්මන්), පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා යන තනතුරුවලට පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් නිර්දේශ කිරීම සභාවේ අනුමැතිය මත පමණක් කළ යුතුයි.
  13. ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් ගණන 30 නොඉක්මවිය යුතු අතර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යරුන්ගේ එකතුව 40 නොඉක්මවිය යුතු වෙනවා.
  14. අග්‍රමාත්‍යවරයා හෝ අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉවත් කිරීම සඳහා බලතල ඇත්තේ ජනාධිපතිවරයාටයි.
  15. ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේදී අමාත්‍යවරුන් සංඛ්‍යාව සීමා නොවන අතර, එම ප්‍රමාණය පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුයි.
  16. 56 හා 57 ව්‍යවස්ථා මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයට ලබා දී තිබූ බලතල ඉවත්කොට නැවත රාජ්‍ය සේවා කොමිසම වෙත ලබා දී තිබෙනවා.
  17. පාර්ලිමේන්තුව එහි ප්‍රථම රැස්වීමෙන් වසරක කාලයකට පසුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ තනි අභිමත බලය ඉවත්කොට එය වසර 4 ½ ක් දක්වා දීර්ඝ කෙරුණා. පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව 2/3 ක යෝජනා සම්මතයකින් පමණක් වසර 4 ½ කට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හැකියාව පවතිනවා.
  18. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා ගැනීමේදී 91(1)ඈ(xiii) ව්‍යවස්ථාව යටතේ වෙනත් රටක පුරවැසියක් වන ලංකාවේ පුරවැසියක් ඒ සඳහා නුසුදුසුයි. එමෙන්ම 92(ආ) ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා ගැනීමට නුසුදුසු පුද්ගලයකු ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගැනීමයි.
  19. ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කර ගැනීම සඳහා අවම වයස 35 බව විය යුතු වෙනවා.

 👇

19 වන ව්‍යවස්ථා සංශෝදනය

එතකොට මොකක්ද මේ 20 වන සංශෝදනයෙන් වෙන්නේ? 


20 කියන්නේ ජනතා පරමාධිපත්‍යය බලය හීන කරන සංශෝධනයක්. මේකෙදි වෙන්නේ, ජනාධිපතිවරයාට ලැබෙන බලය අසීමිත වීමයි. 
  1. තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ජනාධිපතිවරයාට විරුද්ධව මුලික අයිතිවාසිකම් පෙත්සමක්වත් ගොනු කිරීමට, නඩු පැවරීමට ජනතාවට හැකියාවක් නැහැ. ජනාධිපතිවරයා ඉන්නේ නීතියටත් ඉහළින්. ඒ වගේම කිසිදු අපරාධ ක්‍රියාවලියකට වගවීමෙන් නිදහස් වීමට ජනාධිපතිවරයාට පුළුවන්.
  2. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට හෝ සහජීවනය දිරිගැන්වීමට හෝ තවදුරටත් වගකිය යුතු නැහැ.
  3. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම තම ආධිපත්‍යය නතු කර ගනී. අමාත්‍යවරුන් සංඛ්‍යාව තීරණය කිරීම, අමාත්‍යංශ වෙන් කර දීම සහ සියලුම අමාත්‍යවරුන් තෝරා ගැනීම, ජනාධිපතිවරයා අතින්.ඊට කැබිනට් අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය  අමාත්‍යවරුන්,නියෝජ්‍ය අමාත්‍යවරුන්, සහ වැඩ බලන අමාත්‍යවරුන් ඇතුළත් වෙනවා. ඒ වගේම ඔවුන්ව තමන් කැමති වෙලාවට ඉවත් කිරීමට ජනාධිපතිවරයාට පුළුවන්. ජනාධිපතිවරයාට කැමති ඕනෑම අමාත්‍යංශයක් සහ තමන්ට ඕනෑම අමාත්‍යාංශයක් සහ තමන්ට අවශය ඕනෑම අමාත්‍යාංශ සංඛ්‍යාවක් තමන් යටතට ගැනීමේ හැකියාවද පවතිනවා.
  4. ජම්බෝ කැබිනට් මණ්ඩලය හෙවත් , (225කින් සමන්විත) අතිවිශාල සාමජිකයන් ප්‍රමණයකින් සමන්විත කැබ්නට් මණ්ඩලයක් ගෙන ඒමට ඇති හැකියාව.
  5. ජනාධිපතිවරයා අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව තමන්ගේ ආධිපත්‍යයට නතු කර ගනී.
  6. ජනාධිපතිවරයාට අගමැතිවරයා හා පාර්ලිමේන්තු නොසලකා හැර පාර්ලිමේන්තු විසුරුවා අලුත් මැතිවරණයක් කැඳවිය හැකියි. ඒ, මහාමැතිවරණයක් පවත්වා වර්ෂයකට පසුවයි.
  7. කැබිනට් මණ්ඩලය සම්බන්ධ කරුණු වලදී අගමැතිවරයාට තීරණාත්මක හඬක් නැඟීමට නොහැකියි. ඒ වගේම ඕනෑම අවස්ථාවකදී අගමැතිවරයාගේ අදහස් විමසන්නේ අත්‍යවශ්‍ය වුණොත් පමණයි.
  8. පාර්ලිමේන්තුව නොවිසුරුවා අගමැති ඉවත් කර තමන් කැමති කෙනෙක් අගමැති කිරීමටත් අගමැති ධූරයේ බලතල තමනට පරා ගැනීමට ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා.
  9. ජනපතිවරයාට පුළුවන් අගමැතිවරයා නොසලකා ඉන්නත්.
  10. පනත් කෙටුම්පත අධ්‍යයනය කර එය අභියෝගයට ලක් කිරීම සඳහා ජනතාවට ලැබෙන්නේ දින 7ක් පමණයි. ජනාධිපතිවරයා "ජාතික අවශ්‍යතා සඳහා වන හදිසි පනත් කෙටුම්පතක්" ලෙස වර්ග කර එය කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නේ නම්, එහි ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි වන්නේ පැය 24 හෝ 72ක් පමණයි. පනත් කෙටුම්පත පැය 24 හෝ පැය 72 කින් සමාලෝචනය කළ යුතුද? හෝ කළ හැකි ද? යන්න තීරණය කරන්නේ ජනාධිපතිවරයා මිස අධිකරණය නෙවෙයි. ඒ වගේම මෙම කෙටි කාල රාමුව පනත් කෙටුම්පතක් සමාලෝචනය කිරීමේ ක්‍රියාවලියෙන් පුරවැසියන් ඉවත් කරනවා. 
  11. කීර්තිමත් පුද්ගලයින් 3දෙනෙකු ඇතුළත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පත් කරයි.
  12. මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ බලතල  කෙරෙහි බලපෑම් ඇති කරයි.
  13. ජාතික පොලිස් කොමිෂමේ ස්වාධීනත්වයට සහ බලතල කෙරෙහි බලපෑම් ඇති කරයි. ජාතික පොලිස් කොමිෂමට සාමාජිකයන් පත් කිරීමේ සහ ඉන් සාමාජිකයන් ඉවත් කිරීම බලය ජනාධිපතිවරයාට පමණක් කිව්වේහිමි වෙනවා.  කොමිෂමට කළ හැක්කේ මහජනතාව විසින් පොලිසියට එරෙහි කරන පැමිණිලි විමර්ශනය කිරීම පමණක් වන අතර එය කළ හැක්කේ පාර්ලිමේන්තුවෙන් කෙටුම්පත් කරන නීතිවලට අනුවයි.
  14. අධිකරණ සේවා කොමිෂමේ ස්වාධීනත්වය සහ බලතල කෙරෙහි බලපෑම් ඇති කරයි. අධිකරණ සේවා කොමිෂමේ භූමිකාව වන්නේ දිස්තීක්ක විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන් වැනි අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, මාරුවීම්, සේවයෙන් පහ කිරීම හා විනය පාලනය සහ  උපලේඛනගත රජයේ නිලධාරීන් පත් කිරීමයි. ජනපතිවරයාට ඕනෑම විනිසුරුවරුන් දෙදෙනෙක් අධිකරණ සේවා කොමිසමට පත් කළ හැකියි. ඔවුන් ජේෂ්ඨ විනිසුරුවන් වීම හෝ ප්‍රථම අවස්ථාව උසාවියක ( එනම් ප්‍රාථමික අධිකරණය හෝ මහේස්ත්‍රාත් අධිකරණයක අධිකරණයක විනිසුරුවරයෙකු වශයෙන් සේවය කිරීමේ කිසිදු අත්දැකීමක් තිබීම අවශ්‍ය වන්නේ නැහැ) ඒ වගේම පාර්ලිමේන්තු මණ්ඩලයට කිසිදු යොමු කිරීමකින් තොරව එම සාමාජිකයින් පත් කිරීමට හෝ ඉවත් කිරීමට ජනාධිපතිවරයාට පුළුවන්. අධිකරණ සේවා කොමිසමට සාමාජිකයින් පත් කිරීම සඳහා නිර්ණායක නියම කර නැහැ. මේ අතර එම පත් කිරීම් හා ඉවත් කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණයක් හෝ ලබාදීමට පාර්ලිමේන්තු මණ්ඩලයට අවස්ථාවක් නැහැ.
  15. අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ස්වාධීනත්වය සහ බලතල කෙරෙහි බලපෑම් ඇති කරයි. 20 වන සංශෝධනය අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබුණු පිළිගැනීම ඉවත් කෙරෙන බැවින් ඉදිරි පාර්ලිමේන්තුවක් විසින් මෙම කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම අහෝසි වෙන්නත් ඉඩ තියෙනවා.
  16. ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිෂම අහෝසි කරයි. නියාමනය නොකළ සහ විනිවිදභාවයෙන් තොර ප්‍රසම්පාදන ( ටෙන්ඩර් ) ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවේ ඇති වනු ඇති අතර තවත් දූෂණ ක්‍රියා සඳහා මෙයින් දොරටු විවෘත වෙනවා. ස්වාධීන විගණන කොමිෂමක් නොමැති විට නාස්තිය, වංචාව සහ මුදල් විශුද්ධිකරණය හඳුනා ගැනීමට හෝ ඒවා පිළිබඳ මහජනයාට හෙළිදරව් කිරීමට නොහැකි අතර එමගින් එවැනි ක්‍රියා සඳහා දඩුවම් කිරීමටද හැකියාවක් නැහැ. මෙය විදේශ ආයෝජන සඳහා කිසිසේත්ම හිතකර තත්වයක් නෙවෙයි. සැකසහිත ආර්ථිකයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පරීක්ෂාවට ලක් වනු ඇති.
  17. රාජ්‍ය සේවා කොමිෂමේ ස්වාධීනත්වය හා බලතල කෙරෙහිද බලපෑම් ඇති වෙයි. රාජ්‍ය සේවා කොමිෂම රජයේ නිලධාරින් පත් කිරීම, උසස් කිරීම මාරු කිරීම විනය පාලනය හා සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය සේවයේ සම්බන්ධයෙන්ද නීති රෙගුලාසි සහ කාර්ය  පටිපාටි සම්පාදනය සඳහා බලතල ඇති කොමිෂමයි . 20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය හේතුවෙන් පාර්ලිමේන්තු මණ්ඩලයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින් පත් කිරීම සහ ඉවත් කිරීම සිදු කරනු ලබයි. මෙම රාජ්‍ය සේවා කොමිෂමට එහි සාමාජිකයින් නොවන තිදෙනෙකුගෙන් සමන්විත උප කමිටුවක් පත්කර රාජ්‍ය සේවයේ යම් යම් කාණ්ඩ වලට අයත් නිලධාරින් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම,   විනය පාලනය සහ සේවයෙන් පහ කිරීම සඳහා බලතල එම කමිටුවට පැවරෙයි. කොමිෂමේ හෝ කමිටුවේ බලතල හෝ ක්‍රියාවන් පිළිබඳ විමර්ශනය කිරීමට හෝ ප්‍රශ්න කිරීමට ද කිසිදු අධිකරණයකට හෝ විනිශ්චය සභාවකට හැකියාවක් නැහැ. වඩාත් වැඩි බලතල සහිත ඉහත කමිටුව හේතුවෙන් රාජය සේවා කොමිෂම නාමික ආයතනයක් පමණක් වෙයි. මෙය රාජ්‍ය සේවය දේශපාලනීකරණයට මඟපෑදීමට සහ රාජ්‍ය සේවකයින්ගේ සේවා  තත්ත්වයන් වඩාත් පහත හෙලීමට බොහෝ දුරට ඉඩ සලසනු ලබයි.
  18. ස්වාධීන කොමිෂන් සභා අවදානමේ.මානව හිමිකම් කොමිෂමේ, මුදල් කොමිෂමේ, සීමා නිර්ණ කොමිෂමේ, විශ්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ, රාජ්‍ය භාෂා කොමිෂමේ, විගණකාධිපති සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ සාමාජිකයින් තවදුරටත් රාජ්‍ය නිලධාරීන් නොවනු ඇති.
  19. ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාල විගණනය කිරීමට නියම වී නැහැ.ටෙන්ඩර් මණ්ඩල සහ විගණන කොමිෂන් මගින් නාස්තිය වංචාව හා දූෂණය පාලනය කරයි. නාස්තිය වංචාව හා වංචාව හා දූෂණය සඳහා ඇති ඉඩ, පුරවැසියකු වශයෙන් අපගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව කෙරෙහි බලපෑමට ඉඩ තිබෙනවා.
  20. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව තේරී පත්විය හැකි අතර ජනාධිපතිවරයාටද තේරී පත් වීමට හැකියි.

👇

20 වන ව්‍යවස්ථා සංශෝදනය