බැංකු කඩා වැටීමට බියවී, වැඩි ආරක්ෂාව සඳහා කොට්ටය යට තබා ගත් ලක්ෂ පහළොවකට සිදුවූ දේ..

Sri Lankan rupee Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Apr 05, 2023 04:47 PM GMT
Report

වේයන්ගොඩ පොලීසියට සදුදා (4) තම නිදන කාමරයේ ඇඳේ කොට්ටය තුළට දමා පරිස්සමට තබා තිබූ රුපියල් පහළොස් ලක්ෂ අනූ දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවට එම මුදල් අයිතිකාර කාන්තාව පැමිණිල්ලක් කර තිබුණා.

මෙලෙස පැමිනිල්ල යොමු කර තිබුණේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සේවය කරන කාන්තාවකි.මෙම මුදල් ඇය ඉඩමක් විකුණා ලබාගත් මුදලක් වන අතර මීට පෙර ඇය මෙම මුදල බැංකුවක තැන්පත් කර තිබේ.

පොලීසිය සදහන් කළේ, රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකු කඩා වැටීමට ලක්වී මුදල් ලබා ගැනීමට නොහැකි වේ යැයි ඇති වූ සැකය මත ගිණුමේ තිබූ මෙම මුදල් පසුගිය ජනවාරි මාසයේ දිනක ඇය නිවෙසට රැගෙන පැමිණ ඇති බවයි.

මෙලෙස බැංකුවෙන් රැගෙන පැමිණි මුදල් නෝට්ටු කොට්ටය තුළට දමා වැඩි පරිස්සමට සැඟවූ බව ඇය පවසන්නේ යැයි ද පොලීසිය පවසයි. තමා නිදාගන්නේ මුදල් දමා ඇති මෙම කොට්ටය හිසට තබාගෙන බවත්, කොට්ටය ඇතුළේ මුදල් දමා ඇති බව සැමියා හෝ වෙන කිසිවකු හෝ නොදන්නා බවත්, ඇය පොලීසියට පවසා ඇති බව වාර්තා වනවා.

කොට්ටය තුළ සඟවා තබන ලද මෙම මුදල් හොරා ගත්තේ කවුද කියා සිතා ගැනීමටවත් නොහැකි බව ඇය පවසන්නේ යැයි ද පොලීසිය සඳහන් කරයි. රාජකාරි නිමා කර පෙරේදා නිවෙසට පැමිණ නිදන කාමරයට ගිය අවස්ථාවේ මුදල් සඟවා තිබූ කොට්ටය ඉරා දමා, පුළුන් විසිරී තිබෙන අයුරු ඇය දැක ඇත.

කොට්ටය තුළ දමා තිබූ මුදල් නොමැති බව දැක, ඒ බව ඇය පොලීසියට පැමිණිලි කර තිබේ. ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත, ගම්පහ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත හේරත් මහතාගේ මෙහෙයවීමෙන්, වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.එන්. රංගන මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම මුදල් සොරාගෙන ගිය අය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now