බාල වයස්කාර දැරියක් 13 දෙනෙක් අපයෝජනය කරලා - ඒ අතර උසස් පොලිස් දුවකගේ 70 හැවිරිදි තාත්තත්

Anuradhapura Sexual harassment Sri Lanka Police Investigation Child Abuse Crime
By Sewvandhi Mar 18, 2024 12:51 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින්,අනුරාධපුර නගරයේ බාබර් සාප්පුවක් තුළදී 14 හැවිරිදි වියේ පසුවන පාසල් දැරියක් වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලීසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ බාබර් සාප්පුවේ කරණවෑමියා සහ තවත් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අද (18) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා හමුවට එම සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 28 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ, පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී වින්දිත දැරිය පොලිස් භාරයට ගෙන සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී.

අදාළ බාබර් සාප්පුව පසුපස ඇති කාමරයක් තුළදී මෙම අපරාධය සිදුව ඇති අතර සැකකරුවන් දෙදෙනාට අමතරව තවත් සැකකරුවන් 11 දෙනෙකුගේ නම් දැරිය විසින් පොලීසියට අනාවරණය කර ඇත.

එම සැකකරුවන් අතර උසස් පොලිස් නිලධාරිනියකගේ 70 හැවිරිදි වියේ පසුවන පියෙකු ද සිටින බවට තොරතුරු වාර්තාවෙයි. පොලීසිය පවසන්නේ, අදාළ සැකකරුවන් 11 දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

09 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරණ මෙම වින්දිත දැරිය ජාතික මට්ටමේ විවිධ ක්‍රීඩා තරග සඳහා සහභාගී වී ඒවායින් ජයග්‍රහණ හිමිකරගෙන ඇති අති දක්ෂ දැරියක් බවට තොරතුරු අනාවරණය වී ඇත.අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.