කිසිම පවුලක් ආරක්ෂා කරන්නේ නෑ..! අධිකරණ ඇමතිගෙන් දැඩි තීරණයක්..!

Gotabaya Rajapaksa Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Jul 03, 2022 01:08 PM GMT
Report

තමා ඉදිරිපත් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල ආරක්ෂා කිරීමට හෝ කිසිදු පවුලක් රැකීමේ සැලැස්මක් නැතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ගෙන යන ප්‍රචාරවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කොළඹදී අද මේ බව සඳහන් කළේය. 

 "මහින්ද රාජපක්ෂ මහත්තයාට අවුරුදු 6කට බලය ලැබුණේ, දැවැන්ත යුද්ධයක් ජයග්‍රහණය කරලා. හැබැයි 18 වන සංශෝධනය ගෙනාපු නිසා එතුමාගේ ඉවත්වීම ඉක්මන් වුණා අවුරුදු 4කින් යන්න වුණා. ඒ අත්දැකීම් එක්ක තමා අපි කිව්වේ, 20 සංශෝධනය ගෙනාවොත් ආණ්ඩුවට අවුරුදු දෙකක ගමනක් යන්න බෑ කියලා. කියපු ආකාරයටම සිද්ධවුණා.

මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාගේ බලතල ආරක්ෂා කරන්නත් ඒ වගේම රාජපක්ෂ පවුල රකින්නත් කටයුතු කරනවා කියන මතයක් රට තුළ නිර්මාණය කරන්න යම් කණ්ඩායමක් හදනවා. මේ අමාත්‍යධූර දැරීම හරහා සහ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කරන්න කිසිදු පවුලක් ආරක්ෂා කරන්න කිසිම සැලැස්මක් අපිට නෑ. ඒ වගේම අපිට උවමනාවකුත් නෑ.

මේ හරහා අපි රට ආරක්ෂා කරන්න තමා අපි සියලු කටයුතු කරලා තියෙන්නේ. 22 කෙටුම්පත ඉදිරිපත් කළේ සියලුම දේශපාලන පක්ෂ එකඟතාවය පළ කළාට පස්සේ තමා අනුමත කළේ. ඒ අනුව තමා අපි මේ පනත් කෙටුම්පත 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ. එය මේ වනවිට ගැසට් පත්‍රයේ පළ කරලා තියෙනවා.

විපක්ෂය ඉදිරිපත් කරපු වගන්ති 66 ගණනකින් යුක්ත විෂයන් 8ක් අල්ලා ඉදිරිපත් කරපු සංශෝධනයේ එක වචනයක්වත් ජනමත විචාරණයක් නැතුව සම්මත කරන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒක නිෂ්ඵල ක්‍රියාවලියක් බවට පත්වෙලා තියෙනවා. මට එහෙම නිෂ්ඵල ක්‍රියාවලියකට අතගහන්න උවමනාවක් නෑ.

මම ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන් අපි උත්සහ කරන්නේ ජනමත විචාරණයකින් තොරව මේ කටයුත්ත කරන්න. කිසිදු මහජන නියෝජිතයෙකුට විරුද්ධ වෙන්න බැරි විදියට තමා අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. විරුද්ධ වෙන්න පුළුවන්.

හැබැයි හෘද සාක්ෂිය දන්නවා මේ පනත් කෙටුම්පතට විරුද්ධ වෙනවා කියන්නේ ජනතා අභිලාෂයට පයින් ගහනවා කියන එක. ජනතා ඡන්දයෙන් තේරී පත්වෙලා ජනතාවට ද්‍රෝහීව තීරණ ගන්නවා කියන එක තමා මේකෙන් තේරුම් ගන්න වෙන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now