රුසියාවේ පහරදීම් වලින් යුක්රේන සිවිල් වැසියන් 350 කට අධිකව මිය යයි.. (VIDEO)
රුසියා-යුක්රේන යුද ගැටුම් ආරම්භ දින 5ක් ගතවනවිට යුද ගැටුම්වලින් මේ වන විට මියගොස් ඇති සිවිල් වැසියන් සංඛ්‍යාව 350 ඉක්මවන බව යුක්රේන වාර්තා පවසයි. ළමයින් 116 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 1600කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද ඔවුන් සඳහන් කළේය.
කෙසේ වෙතත් රුසියානු පාර්ශ්වය මෙම සංඛ්‍යා දත්ත මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. යුක්රේන වැසියන් ලක්ෂ 5කට වැඩි පිරිසක් ආරක්ෂාව පතා වෙනත් රටවල් වෙත පලාගොස් තිබේ.
දහස් සංඛ්‍යාත පිරිසක් වෙනත් රටවල් වෙත පළායෑමේ අපේක්ෂාවෙන් දේශ සීමා ආසන්නයේ තවමත් රැඳී සිටී. යුක්රේන දරුවෙක් පලකළ අදහස් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි "අපි තාත්තා කියෙව්වල දාලා ආවේ. තාත්තා බඩු විකුණලා ඒ සල්ලිවලින් අපේ වීරයින්ට, අපේ හමුදාවට උදව් කරයි. සමහරවිට එයාට සටන් කරන්නත් වෙයි. ඔයා අපිව බේරගන්න කලින් මම හිතුවේ දවස් දෙක තුනක්වත් පයින් ඇවිදින්න වෙයි කියලා
. " වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න මේ අතර රුසියාව අද නිවේදනය කළේ කියෙව් නගරයෙන් පිටව යෑමට අපේක්ෂා කරන සිවිල් වැසියන් සඳහා ආරක්ෂිත කොරිඩෝවක් ලබාදෙන බවය. මේ අතර යුරෝපා සංගමය යුක්රේනයට අවි ආයුධ මිලදීගැනීම සදහා මූල්‍යමය ආධාර සපයන බව යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා ෆොන් ඩර්ලයෙන් ඊයේ නිවේදනය කළේය. යුරෝපා සංගමය එවැනි පියවරක් ගෙන තිබෙන්නේ ඉතිහාසයේ පළමු වරටය.
එමෙන්ම රුසියානු රජයට අයත් රූපවාහිනී ජාලයක් වන රෂියා ටුඩේ සහ ස්පුට්නික් පුවත් සේවා තහනම් කරමින් රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් කලාපය වසාදැමීමටද යුරෝපා සංගමය කටයුතු කර තිබේ. දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා සම්බන්ධයෙන් මෙතෙක් පැවති කඹ ඇදිල්ල අවසන් කරමින් බෙලරුස් දේශ සීමාවේදී, පෙර කොන්දේසිවලින් තොරව එම සාකච්ඡා පැවැත්වීම සඳහා යුක්රේනය ඊයේ කැමැත්ත පළ කළේය. කෙසේ වෙතත් සාකච්ඡාව සඳහා තෝරාගෙන තිබුණේ දේශ සීමාවට මදක් ඔබ්බෙන් පිහිටි ගොමෙල් නගරයේදීය.
රුසියාවේ තියුණු පහරදීම් වලින් යුක්රේන මහන නිවාසයකට සිදු වූ විනාශය
ප්‍රවාහන පහසුකම් සපයාගැනීමේදී ඇතිවූ දුෂ්කරතාව නිසා යුක්රේන නියෝජිත කණ්ඩායම එහි පැමිණ තිබුණේ පෝලන්තය ලබාදුන් හෙලිකොප්ටර් යානාවලිනි. සාකච්ඡාවෙන් යුක්රේන පාර්ශ්වය මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ හදිසි සටන් විරාමයක් ලබාගැනීම සහ රුසියානු හමුදාව රටින් ඉවත් කරගැනීමය. බෙලරුස් හිදී මෙසේ සාම සාකච්ඡා පැවැත්වෙන පසුබිමක බෙලරුස් හි සිය තානාපති කාර්යාලයේ මෙහෙයුම් අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන ඇත.
මේ අතර රුසියාවේ සිටින සියලුම අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට එරටින් පිටවන ලෙසද නියෝග කර තිබේ. සාකච්ඡා ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමඟ පැවති සාකච්ඡාවකදී යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසා තිබුණේ ඉදිරි පැය 24 යුක්රේනයට අතිශයින් තීරණාත්මක බවය. සාම සාකච්ඡා වෙනුවෙන් සටන් මෙහෙයුම් තාවකාලිකව නවතා දැමූ අතර දින දෙකකට පසු කියෙව් නගරයට පනවා තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරීමටත් බලධාරීන් අද පියවර ගෙන ඇත. ඒ අනුව සිල්ලර භාණ්ඩ අලෙවිසැල් විවෘත කිරීමට අවස්ථාව ලබාදී තිබූ අතර පොදු ප්‍රවාහන සේවාවන්ද යළි ආරම්භ කිරීමට අවසර ලබාදී තිබුණි.
චීනයේ සී.සී.ටීවී පුවත් සේවය අද කියෙව් නගරයේ පැවති වාතාවරණය දැක්වෙන වීඩියෝ පටයක් වාර්තා කර තිබූ අතර එහි සන්සුන් ස්වභාවයක් ගෙන තිබූ නගරයේ මාර්ගවල පුද්ගලයන් කිහිපදෙනෙකු හා වාහන කිහිපයක් සැරිසරන අයුරු එහි සටහන් වී තිබුණි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුළ කියෙව් හි මාර්ගවල රැඳී නොසිටින ලෙස ජනතාවට ලබාදී තිබූ උපදෙස් කඩකරමින් එම කාලසීමාවේ නගර මධ්‍යයට ඇතුළු වී සිටි ජනතාව හමුදා භාරයට ගත් අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙසේ අත්අඩංගුවට පත් ජනතාව දේශද්‍රෝහීන් ලෙස සලකන බව යුක්රේන බලධාරීන් නිවේදනය කර තිබුණි.
කෙසේවෙතත් ගෙවුණු පැය විසිහතරේත් රුසියාව සහ යුක්රේනය අතර පැවතියේ දරුණු ගැටුම් සහිත වාතාවරණයකි. රුසියානු ආක්‍රමණය ආරම්භ කළ පසු තමා මුහුණදුන් අසීරුතම දිනය ඊයේ බව යුක්රේන හමුදාව ප්‍රකාශ කළේය. යුක්රේන හමුදාව පවසන්නේ යුක්රේනයේ දෙවැනි විශාලතම නගරය වන කාර්කිව් හි ඊයේ දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලී ගොස් තිබූ අතර රුසියානු හමුදා සෑම දිශාවකින්ම දිගින් දිගටම යුක්රේනය වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවය. යුද ගැටුම්වලින් තුවාල ලැබූ යුක්රේන වැසියන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඊශ්‍රායල් වෛද්‍ය කණ්ඩායමක් ගුවනින් එරට බලා පිටව යෑමට පෙර ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණි.
කියෙව් සිට සැතපුම් 40ක පමණ දුරකින් සැතපුම් 3ක් පමණ දුරට රුසියා යුද උපකරණ ස්ථානගත කර තිබෙන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයක් ද අද විදෙස් මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි. රුසියානු හමුදාව කියෙව් අගනුවරට ඇතුළු වී මේවනවිට දින 03ක් ගතවී ඇති නමුත් ඔවුන්ට තවමත් නගරයේ බලය අල්ලා ගැනීමට හැකියාවක් ලැබී නොමැත. සතුරු පාර්ශවයෙන් දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙමින් ඇති නමුත් අගනුවර සම්පූර්ණ පාලනය තම රජය සතු බව යුක්රේනය අවධාරණය කර ඇත.
විශ්ලේෂකයන්ට අනුව රුසියාව අපේක්ෂා කළ පමණට වඩා යුක්රේන හමුදාව මනාව සංවිධානය වී ඇති බැවින් රුසියානු හමුදාවන්ට පහසුවෙන් අගනුවර අල්ලා ගැනීමට නොහැකි වී තිබේ. යුක්රේන හමුදාවෙන් එල්ල වන ප්‍රහාර හමුවේ පහසුවෙන් අගනුවර අල්ලා ගැනීමට නොහැකි බැවින් රුසියානු හමුදාවන් සිය උපායමාර්ගය වෙනස් කරමින් යුක්රේනයේ වෙනත් නගර වෙත ඇතුළු වෙමින් සිටින බව ද ඔවුන් සඳහන් කළේය. කෙසේවෙතත් යුක්රේනයේ අගනුවර අල්ලා ගැනීමට නොහැකිවීම හා එල්ල කෙරෙන ප්‍රහාර හමුවේ සිවිල් වැසියන්ට සිදුව ඇති හිරිහැර හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දැඩි පීඩනයකට මෙන්ම විවේචනයන්ට ද ලක්වෙමින් ඇතැයි බටහිර මාධ්‍ය පෙන්වා දෙයි.
ඔවුන් පවසන්නේ යුක්රේනය ඉලක්ක කර ආරම්භ කළ හමුදා මෙහෙයුම අසාර්ථක වුවහොත් රුසියානු ජනාධිපතිවරයාට බලය අහිමි වනු ඇති බව හා ඔහුට සිය අනුප්‍රාප්තිකයා හෝ තෝරා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවය. මේ අතර රුසියානු හමුදා කියෙව් අගනුවර හොස්ටමෙල් ගුවන් තොටුපළට එල්ල කළ ප්‍රහාර හමුවේ යුක්රේනයේ නිෂ්පාදිත ලොව විශාලතම ගුවන් යානය වන ඇන්ටනොව් ඒ එන් ඒ 225 යානය විනාශ වුණි. යුක්රේනයේ සිහිනය ලෙස හැඳින්වූ මෙම ගුවන් යානය විනාශ වීමෙන් එරට වැසියන් අසීමිත ලෙස කම්පනයට පත්ව සිටින අතර මේ සිදුවීම සිය භූමියේ, නිදහසේ හා අභිමානයේ සංකේතයට එල්ල කළ පහරක් ලෙසයි ඔවුන් සලකයි.
ඉන්ධන ලබාගැනීමට සහ ගුවන් කාර්ය මණ්ඩලයට විවේකය ලබා ගැනීම සදහා 2018 වසරේ අප්‍රේල් මාසයේදී මෙම දැවැන්ත ගුවන් යානය මත්තල ගුවන්තොටුපලට ගොඩ බස්වා තිබුණි. යුද ගැටුම් නිසා වසාදැමූ යුක්රේන හිස් ගුවන් අවකාශයේ අද තත්ත්වය ෆ්ලයිඩ් රේඩාර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. මේ අතර න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබන ලෙස රුසියා ජනාධිපති විලැදිමීර් පුටින් ඊයේ නියෝග කළේය. යුරෝපා සංගමය සහ බටහිර රටවල් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා නිකුත් කළ එම නියෝගය , අමෙරිකාව ඇතුළු රටවල් රැසක් හෙළා දැක තිබේ.
ලොව විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව පිහිටා ඇත්තේ රුසියාවේ, මොස්කව් නුවරය. රුසියාවට බාධා කිරීමට උත්සහ දරන ඕනෑම අයෙකුට ඉතිහාසයේ මෙතෙක් අත්දැක නැති ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවටයි පුටින් අනතුරු අඟවා තිබේ. එමෙන්ම යුද ගැටුම්වලට එරෙහිව විරෝධතාවල නිරතවූ රුසියානු ජාතිකයන් දෙදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමා ජනාධිපති ධුරයේ රැඳී සිටියේනම් මේ ව්‍යසනය සිදුවීමට ඉඩ නොතබන බවය.
වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ දුර්වල හා අදක්ෂ පාලනය යුක්රේනයේ වත්මන් තත්වයට හේතු වී ඇති බවත් ඔහු සඳහන් කළේය. අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "මම ජනාධිපති වෙලා හිටියානම් නම් මේ බිහිසුණු ව්‍යසනය කවදාවත් සිද්ධ වන්නේ නැහැ. බුෂ් යටතේ රුසියාව ජෝර්ජියාව ආක්‍රමණය කළා. ඔබාමා යටතේ රුසියාව ක්රිමියාව අල්ලා ගත්තා. බයිඩ්න් යටතේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කළා. රුසියාව වෙනත් රටක් ආක්‍රමණය කරනවා නොදුටු, 21 වැනි සියවසේ එකම අමෙරිකානු ජනාධිපතිවරයා මමයි."
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අද පැවැත්වෙයි. ඒ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙන ආ විශේෂ යෝජනාවකට අනුවය. මෙවැනි හදිසි විශේෂ සැසියක් පැවැත්වෙන්නේ වසර 40කට පසුව වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධාන ඉතිහාසය තුළ පවත්වන 11 වැනි විශේෂ සැසිවාරය මෙය වීම විශේෂත්වයකි. නිශේධ බලය යොදා රුසියාව අදාළ යෝජනාව පරාජය කිරීමට උත්සහ කළ ද, එක්සත් ජාතීන්ගේ විශේෂ යෝජනාවක් බැවින් එය නිශේධ කිරීමට රුසියාවට නොහැකි වුණි. අද පැවැත්වෙන සැසියේදී රුසියාව, යුක්රේනය ආක්‍රමණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් 193 දෙනාටම අවස්ථාව හිමි වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |