දිරාගිය දත් සඳහා ප්‍රතිකාර ක්‍රම.
ෆ්ලෝරයිඩ් ගැන ඔබට නිතරම අහන්න දකින්න ලැබෙනවා. මේවා දත් වල ආරක්ෂාට ගොඩක් වැදගත් බවත් ඔබ අහලා ඇති. මෙම ෆ්ලෝරයිඩ් අයනය කැල්සියම් හයිඩ්‍රොක්සි ඇපටයිට් අණුවට ඇතුළත් වී ෆ්ලෝරො ඇපටයිට් සාදනු ලබනවා. මේවා අම්ල මඟින් දිරා යාම මුල් අණුවට වඩා අඩු බැවින් දත් දිරා යාම අඩු කර ශක්තිමත් කරන්න සමත් වෙනවා. ඒ වගේම මුඛයේ ආම්ලිකතාව ඇති කිරීමට මූලිකම හේතුව වන බැක්ටීරියාවන්ගේ පරිවෘත්තියටද බාධා කරනවා.
නිවසේ වල ෆ්ලෝරයිඩ් භාවිතා කරන ආකාරය
සාමාන්‍යයෙන් ලංකාවේ ගෙවල් වල බහුලව දකින්න ලැබෙන දෙයක් තමයි ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි කිරීම. හැබැයි පිට රටවල් වල නම් ගොඩක් දුරට ෆ්ලෝරයිඩ් අඩංගු පෙති වර්ග වලින් සහ ඒවා ජලයට මුසු කිරීමෙන් භාවිතයට ගැනෙනවා.
දත් දිරා යාමේ ලක්ෂණ
- දත් මත සුදු හෝ දුඹුරු හෝ කලු පැහැති පැල්ලම් ඇතිවීම.
- දත් අතර ආහාර කැබැලි රැඳී පැවතීම
- දත් හිරි වැටීම
- දත් කැබැලි කැඩී යාම සහ දත් කුහර සෑදීම.
- සුළු හෝ දරාගත නොහැකි ආකාරයට වේදනාව ඇති වීම.
දිරා ගිය දත් සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම
දත දිරා ඇති ප්‍රමාණය මත ප්‍රතිකාර කරන ක්‍රමයද වෙනස්. ඒ සඳහා සුදුසකම් ලත් දන්ත වෛද්‍යවරයෙක් හමුවී දත් පරික්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර කරගන්න. |
- ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය
ෆ්ලෝරයිඩ් ජෙල් සහ වාර්නිෂ් ආලේපය යන ප්‍රතිකාර ක්‍රම ( මේ ප්‍රතිකාර ක්‍රම දෙකම රජයේ ප්‍රජා දන්ත වෛද්‍ය සායන මෙන්ම පෞද්ගලික අංශයේ දන්ත සායන මගින්ද නිසි වෛද්‍ය උපදෙස්වලට අනුකූලව ලබා ගත හැකියි.)
- දතේ දිරා ගිය කොටස් ඉවත් කර පිරවුම් ද්‍රව්‍ය මගින්.
මෙම ක්‍රමය එනැමලය හා දන්තිනයේ පිටත ස්ථරය දක්වා ගමන් කළ මතුපිට දිරුම් සඳහා පමණයි.
- තාවකාලික පිරවුම්
මෙය කල්ක කුහරය ආසන්නයට විහිදී ගිය කුහර සඳහා යෙදෙන ඖෂධීය පිරවුමක්. මෙහි ශක්තිමත් බව අඩුයි. මෙය යොදා ගත් පසුව මාස දෙකක් තුනක් අතර කාලයක් යනකම් වේදනාවක් නොමැති නම් වෛද්‍ය උපදෙස් මත ස්ථිර පිරවුම යොදා ගන්න පුළුවන්. එමෙන්ම තිවකාලික පිරවුම යෙදූ පසුද වේදනාවක් ඇති වන්නේ නම් දතේ කල්ක කුහරය දක්වාම ආසාදනය පැතිර තිබෙනවා. එවිට ස්නායු පිරවීම හෝ දත ගැලවීම කළ යුතුයි.
- ස්නායු පිරවුම
කල්ක කුහරය දක්වා පැතිරුණ කුහර ඇති දත් වේදනා සහිත හෝ රහිත විය හැකියි. එම දත් රැක ගැනීමට අවශ්‍ය නම් කල්ක කුහරය තුළ ඇති පටක ඉවත් කර එයට පිරවුම් ද්‍රව්‍ය යොදා පුරවා දමනවා. ගොඩක් වෙලාවට ඉන් අනතුරුව දතට කොපුවක් යොදා ගනිමින් දත ආරක්ෂා කර ගත යුතුයි.