අත්හිටවූ සිර දඬුවමක් නියම කරන්නේ ඇයි?

Law and Society Trust Sri Lanka Law and Order
By Wayomi Sep 30, 2022 07:39 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අත්හිටවූ සිර දඩුවම් නොහොත් අත්හිටවූ දණ්ඩන නියමයන් ගැනයි මේ කතා කරන හදන්නේ.

අධිකරණයක් විසින්, බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කරනු ලබන වරදක් සඳහා වරදකරුවකු වූ තැනැත්තෙකුගේ දඬුවම, වසර 2ක කාලයක් බන්ධනාගාරගත කිරීමක් නොඉක්මවන විට,

අදාළ පුද්ගලයාව භෞතිකව බන්ධනාගාර ගත නොකොට එම දඩුවම වසර 5කට නොවැඩි කාලයක් දක්වා ක්‍රියාත්මවීම වැලැක්වීම අත්හිටවූ සිර දඩුවමක් ලෙස හඳුන්වනවා.

සරලවම කියනවා නම්, වැරදිකරුවකු අදාළ වරදට සිරගත නොකොට ඔහු හෝ ඇය සාමාන්‍ය සමාජයට මුදාහැර; නමුදු, එම තැනැත්තා විසින් අදාළ වරද වැනි වරදක් එම නියම කරනු ලබන ක්‍රියාත්මක කාලය තුළ කරනු ලැබුවහොත්, අත්හිටවනු ලැබූ සිර දඩුවම යළි ක්‍රියාත්මක කළ හැකි අන්දමින් ඔහු හෝ ඇයව බැදීමකට යටත් කොට මුදා හැරීමක් තමයි මෙහිදී සිදු කරන්නේ.

අත්හිටවූ සිර දඩුවමක් නියම කරන්නේ ඇයි?

🔰 මෙහි මුලිකම පරමාර්ථය ලෙස වරදක් කරන ලද තැනැත්තෙකු සිරගත කොට ඔහු තුළ සමාජය කෙරෙහි වෛරයක් ඇති වීම වළක්වමින් හා සමාජයෙන් ඔහුට වියහැකි අනිසි විපාකයන් නොලැබෙන ලෙස අදාළ වරදට දඩුවම වන්නා වූ සිරගත කිරීම සිදු නොකර සාමාන්‍ය සමාජය හා සිටින්නට සැලැස්වීමෙන් ඔහුට පුනුරුත්තාපනය වීමට ඉඩ ලබා දීමයි.

🔰 එමෙන්ම සිරගෙවල් තුළ ඇති තදබදය අවම කිරීමටත්, ප්‍රථම වරට වරදක් කොට සුළු කාලයකට සිරගත වන තැනැත්තෙකු සිරගත වූ පසු අනෙකුත් සිරගත වී සිටින අපරාධකරුවන් හා සමගින් එක් වී දරුණු අපරාධකරුවකු බවට පත් වීමට ඇති ඉඩකඩ ඇහිරීමත් තවත් එක් අරමුණකි.


මේ සම්බන්ධව නීතිමය තත්වය

🔰 මීට අදාළ නීති 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතෙහි 303,304 සහ 305 වගන්තීන් හි මුලින් ඇතුළත් වී පැවති අත‍ර, ඉන් අනතුරුව 1999 අංක 47 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත මගින් මුල් පනතේ 303 සහ 304 යන වගන්තීන් සම්පුර්ණයෙන්ම සංශෝධනය කොට 305 වගන්තිය අහෝසි කොට ඇති අතර, මේ වන විට බලපවත්නා නීති තත්වය එම සංශෝධිත 303 සහ 304 වගන්තින් වේ.


අත්හිටවූ සිරදඩුවමක්, සිරදඩුවමක් වශයෙන්ම සලකනු ලැබේද?

🔰 මේ සම්බන්ධව පෙර පැවති නීති තත්වය තුළදී එනම්, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 303(5) උප වගන්තියට අනුව අදාළ අත්හිටවූ සිර දඩුවම ක්‍රියාත්මක කාලය තුළ තදනන්තර වරදක් නොකළ තැනැත්තෙකු කිසිදු ආකාරයක සිර දඩුවමක් නොලද අයෙකු ලෙස හෝ කිසිදු ආකාරයක වැරදිකරුවකු නොවූ ලෙසට සැලකිය යුතු බව සදහන් වී පැවති නමුදු, 1999 අංක 47 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතෙහි 303(උප වගන්තියට අනුව, ධුරයක් අහිමි කිරීමකටත්, ධුරයකට නුසුදුසු කමක් වීමටත් විශ්‍රාම වැටුප් හෝ වෙනත් සහන ලබා ගැනීම අහිමි කිරීම හෝ අත්හිටවීම හැර වෙනත් නිතියක කාර්යය සදහා එය නියමාකාර බන්ධනාගාර ගත කිරීමක් ලෙස සලකනු ලබනවා

🔰 එහෙයින් වර්තමානය වනවිට අත්හිටවූ සිර දඩුවම යන්න යටකී අවස්ථාවල හැර නියමාකාර බන්ධනාගාර ගත කිරීමක් ලෙසම සැලකේ. නමුදු, එයද 303(9) උපවගන්තියට අනුව සලකා බැලිය යුතුය.


අත්හිටවූ සිරදඩුවම ක්‍රියාත්මක කාලයේදී තවත් වැරදි කළහොත් ?

🔰 මේ හා බැදි විධි විධානයන් මුල් කාලීනව 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතෙහි 304 සහ 305 වගන්තීන්හි ඇතුළත් කොට පැවති නමුදු, එයට 1999 අංක 47 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත මගින් ගෙන එන ලද සංශෝධනයෙන් 303(11), 303(12), 303(13) යන උප වගන්තීන් තුළින් ඊට අදාළව නව ප්‍රතිපාදනයන් ඇතුළත් කොට තිබෙනවා.

🔰 එම උප වගන්තීන්ට අනුව යමෙකු විසින් අත්හිටවූ සිර දඩුවමක ක්‍රියාත්මක කාලයේදී තවත් වරදක් සිදු කළහොත් එම දණ්ඩන නියමය පුනස්ථාපනය කොට ඒ දඩුවමට යටත් වීමට, දඩුවමින් කොටසකට පුනස්ථාපනය කොට දඩුවම් විදීමට, සම්පුර්ණයෙන්ම අත්හිටවූ දණ්ඩන නියමයක් නම්, වසරකට නොඅඩු කාලයකට එහි ක්‍රියාත්මක කාලය දීර්ඝ වීමකට හෝ අධිකරණයේ අභිමතය අනුව දණ්ඩන නියමය කෙරෙහි කිසිදු ආඥාවක් නොකර හැරීමටද ඉඩ තිබෙනවා.

🔰 තවද අදාළ වරදකරුට දඩයකට ද යටත් වීමටද නියම කරනු ලැබිය හැකියි. (An excerpted and edited post.)