හරියටම ඉර සේවය කියන්නෙ මොකක්ද?

Sri Lanka
By Wayomi Jun 18, 2022 04:53 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සිරිපා වන්දනාවේ යන ගොඩක් අය සිරිපා කරුණා කරලා ඉවර වෙලා ගල් ගැහෙන සීතලේ ගුලි වෙලා උදේ වෙනකන් මඟ බලන් ඉන්නවා. ඒ ඉර සේවය බලාගන්න. සමහර වෙලාවට කොච්චර පෙරුම්පුරගෙන හිටියත් ඉර සේවය බලාගන්න බැරි වන අවස්ථාද නැතුවාම නෙවෙයි. ඉතින් මේ කියන්න යන්නේ හරියටම ඉර සේවය කියන්නෙ මොකක්ද කියලා.

🌤️ ඉර පායන්න කලින් ක්ෂිතිජයට ආසන්න අහසේ ලොකු ආලෝක පැල්ලමක් දිස්වීම මේ ඉර සේවය කියලා විස්තර කෙරෙන සංසිද්ධියේ එක් අවස්ථාවක්.

🌤️ වායුගෝලයේ ඉහළ ස්ථරයක හා පහළ ස්ථරයක ඇති වාතයේ ඝනත්ව අතර පැහැදිලි වෙනසක් ඇති මායිමක් (අතුරුමුහුණතක් /interface) නිර්මාණය වී ඇති විටක ඒ මුහුණතින් පහළට හිරු කිරණ 'පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය'ට (Total internal reflection) ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇත්තටම හිරු ක්ෂිතිජයෙන් ඉහළට ඒමට පෙර හිරුගේ ප්‍රතිබ්ම්භයක් අහසේ දිස්වෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට මේක තවත් ඉරක් වගේ පේන අතරම ඇත්ත ඉර ඊට යටින් මතුවෙනවා. එහෙම නැතිනම් ඒ 'ව්‍යාජ ඉර' නොපෙනී ගියාට පස්සෙ ඇත්ත ඉර පායනවා.

🌤️ තවත් වේලාවල් වල හිරු ක්ෂිතිජයෙන් මතුවී ඉහළට එන වේගය වෙනස් වෙනවා වගේ පේනවා. උඩට මතුවූ ගමන් හිරු අහසේ නැවතීම, ක්ෂිතිජයෙන් ඉහළට එන්නේ නැතිව නැවතී සිටීම, ආපසු පහලට යාම, නැවති නැවති ඉහලට ඒම, හිරු දෙතුන් වරක් දෝලනය වීම වැනි මායා දර්ශන පේනවා. මෙහෙම පේන්නෙ හිරු කිරණ කෙලින්ම නෑවිත් වර්තනය වීම (Refraction) නිසයි.

🌤️ අහසේ මුදුනේ හිරු ඇතිවිට වායුගෝලය හරහා හිරු කිරණ එන්නේ කෙටි දුරක්. නමුත් හිරු නැගෙන වේලාවේදී පොළවට සමාන්තරව විශාල දුරක් වායුගෝලය හරහා හිරු කිරණ ගමන් කරනවා. ඒ නිසා ගොඩබිම හා මුහුද උඩින් ඇති වායු කලාප අතර විවිධ කැළඹිලි මැදින් යද්දි ඉහත කී දේවල් දිස්වෙනවා.

🌤️ එමනේම ලම්බකව නැතිව ආනතව හිරු කිරණ වායුගෝලයට පිවිසෙන විට යම් වර්තනයක් සිදු වෙනවා. මෙය සමනල කන්දට පමණක් සීමා වූවක් නෙමෙයි. තිරස් අතට ඉතා ඈත දුරක් දිස්වන ඕනෑම උස කන්දක සිට හිරු උදාව සිදුවන අවස්ථාවේ මෙවැනි දර්ශන දැකිය හැකියි. සමනල කන්දේ වුවත් මෙවැනි දෙයක් සිදු නොවී සාමාන්‍ය ආකාරයට හිරු නැගීමද සිදු වෙනවා. වැඩිපුර දවස් ගණනක් සිදුවන්නේ ඒ විධියට වන අතර 'ඉර සේවය' නමින් හඳුන්වන දෝලන දිස්වන්නේ මාසයකට දින කිහිපයක් පමණයි.

🌤️ හැබැයි අරුණාලෝකයේ පටන් අහසට නැග රන්වන් පාටින් බබලන අවස්ථාව දක්වා අහසේ ඇතිවන වර්ණාවලියේ වෙනස් වීම පියවි ඇසින්ම මිසක් කැමරාවකින් දකින්න බැහැ.

උපුටා ගැනීමක් 



ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW


GalleryGallery