දවසකට නිදාගතයතු පැය ප්‍රමාණය හරියටම දැනගන්න..නැතිනම් මරණය අත ළඟ..

Sri Lanka
By Aruna මාස 1 කට පෙර

දිනකට පැය 5කට වඩා අඩුවෙන් නිදා ගන්නා අය විවිධ රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඇති බව අලුත් සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

එක්සත් රාජධානියේ සිවිල් සේවකයන් 8,000ක් පමණ යොදාගෙන PLoS Medicine නමැති ආයතනයක් කළ සමීක්‍ෂණයකින් මේ බව හෙළි වී ඇත.

මෙයට සහභාගි වූවන්ගේ නින්ද සහ විවිධ ලෙඩ රෝග අතර සම්බන්ධය පිළිබඳව දශක දෙකක පමණ කාලයක් පුරා අධ්‍යයනය කර තිබිණි.

මෙහිදී අනාවරණය වී තිබුණේ දිනකට පැය 5කට වඩා අඩු කාලයක් නිදා ගන්නා අවුරුදු 50ට ආසන්න වයස්වල පසුවන්නන් දියවැඩියාව, පිලිකා, හෘද රෝග වැනි තත්ත්වයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩක් ඇති බවයි. පැය 7ක් හෝ ඊට වැඩි කාලයක් නිදා ගන්නා අයට වඩා මෙම පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරු වීමට ඇති හැකියාව සියයට 30කින් පමණ වැඩි බව PLoS Medicine ආයතනය කළ සමීක්‍ෂණයෙන් හෙළිව තිබේ.

මේ ආකාරයෙන් අඩු නින්දක් ලබන පුද්ගලයන් ඉහත කී රෝගාබාධවලින් මිය යෑමටද වැඩි ඉඩක් ඇති බව හෙළි වී ඇත.

මේ අනුව විශේෂඥයන් පවසන්නේ වයස අවුරුදු 50ට වැඩි අය දිනකට පැය 7ක හෝ 8ක පමණ නින්දක් ලබා ගැනීමෙන් බොහෝ බරපතළ රෝගාබාධ වළක්වා ගැනීමට හැකියාවක් ඇති බවයි.

සිරුරට සහ මනසට විවේකය ලබා දී ඒවා නැවත ප්‍රාණවත් කිරීමට නින්දට හැකියාවක් ඇති බව පිළිගැනේ.

මතක ශක්තිය, මනසේ ස්වභාවය (Mood), අවධානය යොමු කිරීමට ඇති හැකියාව, පරිවෘත්තිය ක්‍රියාවලිය ආදිය වැඩි දියුණු කිරීමටද නින්දට හැකි බව තහවුරු වී ඇත.

දවස පුරා මොළයේ එකතු වන කුණු කසළ බැහැර කිරීමක් ද නින්දේ දී සිදුවන බව විශේෂඥයන්ගේ විශ්වාසයයි.

කෙසේ වෙතත් වර්තමානයේ බොහෝ දෙනෙකු ගත කරන කාර්ය බහුල, අවිවේකී ජීවිතය තුළ ඇති වන මානසික ආතතිය, නොසන්සුන් බව වැනි තත්ත්වයන් නිසා ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම බොහෝ දෙනෙකුට ගැටලුවක් බවට පත්ව ඇත.

මේ නිසා ඇතැම්හු මේ සඳහා විවිධ ඖෂධ ලබා ගැනීමට පවා පෙලඹෙති.

නමුත් මේ කාලයේ වෛද්‍යවරුන් මෙවැනි ඖෂධ ලබාදීමට වැඩි කැමැත්තක් නොදක්වන බව වාර්තා වේ. ඒ මෙම ඖෂධ නිසා විවිධ බරපතළ අතුරු ආබාධ ඇති වීමට ඉඩ ඇති නිසාය.

එමෙන්ම මෙවැනි ඖෂධවලට ඇබ්බැහි වීමක් ඇති වීමට ද ඉඩ තිබේ.

මනෝ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ඖෂධවලින් තොරව පවා නින්ද පිළිබඳ ගැටලු විසඳා ගැනීමට විශාල හැකියාවක් ඇති බවයි.

පහසුවෙන් නින්ද ළඟා කර ගැනීමට උදව් වන සරල ක්‍රියාමාර්ග ගැනද මෙවැනි විශේෂඥයෝ නිතර පෙන්වා දෙති.

දිවා කාලයේ ගත සිත හොඳින් වෙහෙසා වැඩ කර රාත්‍රිය ආසන්න වෙද්දී වැඩ අඩු කිරීම, නිදා ගැනීමට ආසන්න වෙද්දී ජංගම දුරකතනය වැනි මෙවලම් දෙස බලාගෙන වැඩ කිරීමෙන් වැළකීම, දිවා කාලයේ නිදා ගැනීමෙන් වැළකී සිටීම, රාත්‍රි කාලයේ කෝපි, මත්පැන් වැනි දේ පානය නොකිරීම, නිදන කාමරය තුළ ප්‍රසන්න සහ නින්දට රුකුල් දෙන සුවදායක පරිසරයක් නිර්මාණය කර ගැනීම වැනි පියවර මෙහි දී වැදගත් විය හැකි බව පෙන්වා දෙනු ලැබේ.

කෙනෙකුට නින්ද නොයන්නේ නම් ඒ ගැන වුවමනාවට වඩා සිත කරදර කර ගැනීම ද නින්ද තවදුරටත් පලවා හරින්නක් ලෙස සැලකේ.

එහිදී කළ යුතු වන්නේ ඒ ගැන අමතක කර පොතක් කියවීම, සංගීතයට සවන් දීම, භාවනාව වැනි, සිත සන්සුන් කරන කටයුත්තක නියැළීමයි.

එසේ කිරීමේදී බොහෝ දුරට නිදිමත ළඟා වීමට ඉඩ ඇති බව පිළිගැනේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now