සේවකයින්ගේ වැටුප 25%කින් අඩු කරන්න යයි...ETF සහ EPF එකත් අඩු කරයි?
මහ බැංකුවේ සේවකයන්ට වැඩිකළ වැටුප සියයට විසිපහකින් අඩු කිරීමේ යෝජනාවක් මහ බැංකුවේ ඉහළ නිලධාරීන් අතරින්ම ඉදිරිපත්වී ඇති අතර, ඔවුන් ඒ පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ද එහි ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවෙන්, සෙසු රාජ්‍ය සේවකයන්ගෙන් සහ මහජනතාවගෙන් දිගින් දිගටම එල්ල වන විරෝධතා නිසාවෙන් බවයි වාර්තා වන්නේ.
මහ බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් මෙම යෝජනාව මුදල් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිත බවද එහි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ නමුත්, මහ බැංකුව සිය වැටුප් වැඩිකර ගැනීම සිදුකර ඇත්තේ ලබන අප්‍රේල් මාසයේදී විශ්‍රාම යාමට නියමිත,මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකුගේ බලපෑම් මත බවද අනාවරණය වනවා.
මෙම නිලධාරියා මහ බැංකුවේ ඉහළ නිලයක් දරන අතර,ඔහු විශ්‍රාම යාමේදී ඉහළ විශ්‍රාම වැටුපක් ලබා ගැනීමද අදාළ වැටුප් වැඩිවීමට හේතුපාදක වී තිබෙන බවද මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග තහවුරු කරයි.
රජයේ සේවකයකු විශ්‍රාම ලැබූ පසුව ඔහුගේ විශ්‍රාම වැටුප බද්දෙන් නිදහස් වූවත්,මහ බැංකුව ස්වාධීන ආයතනයක් නිසා එහි සේවකයන් විශ්‍රාම ගිය පසුව ඔවුන්ගේ වැටුප බද්දෙන් නිදහස් නොවේ.
ඊට හේතුව රජයේ අනුමත විශ්‍රාම වැටුප් අරමුදලින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නොගෙවන නිසාවෙනි .
නමුත්,මහ බැංකුවේ සේවකයන් විශ්‍රාම ගිය පසුවද එම වැටුප බද්දෙන් නිදහස් කරගැනීම සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවටද තොරතුරු අනාවරණය වනවා.
එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටින්නේ, මහ බැංකුව ස්වාධීන ආයතනයක් වුවද, වැටුප් වැඩිකර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ එකඟතාව ලැබුණු බව අධිකරණයට ඒත්තු ගැන්වීම සඳහා මහ බැංකුව උත්සාහ ගනිමින් පවතින බවයි.
මහ බැංකු සේවකයන්ට එහි අරමුදල හරහා වැටුප් ගෙවනු ලැබූවද,මෙලෙස හිතුමතේ වැටුප් වැඩිකර ගැනීම සඳහා නීත්‍යනුකූල බලයක් නොමැති බවයි අනාවරණය වන්නේ.
මෙම වැටුප් වැඩිකර ගැනීමේදී,වැඩිවන වැටුපට අදාළව රජයට ගෙවීමට සිදුවන වැඩි බදු මුදල ද මෙම වැටුපට එකතුකර ඇතැයිද පැවසේ.
ඉකුත් 2017 වසරට පෙර කාලයේදීද මහ බැංකු සේවකයන්ගේ වැටුපෙන් කපන ලද බද්ද රජයට ගෙවනු ලැබුවේද මහ බැංකු අරමුදල හරහාය.
මෙය නීත්‍යනුකූල තත්ත්වයක් නොවන බැවින්,එලෙස අරමුදල හරහා අදාළ බදු මුදල ගෙවීම නීත්‍යනුකූල කරගැනීමට අදාළව දේශීය ආදායම් පනතට වගන්ති එකතු කිරීමේ සූදානමක් පවතින බවයි, මහ බැංකුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීමට එරෙහිව පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර සම්මත කරගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා කටයුතු යොදා තිබේ.
මේ අතර,සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් සඳහා සියයට නවයක වාර්ෂික පොලියක් ගෙවද්දී මහ බැංකුවේ එම අරමුදලේ සාමාජිකත්වය දරන සාමාජිකයන්ට වාර්ෂික පොලිය ලෙස සියයට 29 යි දශම 27 ක් ගෙවීමට ගෙන තිබෙන තීරණය නිසා වැඩ කරන ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග මහතා විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉකුත් 14 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කළා.