මුහුදේ රතු අනතුරු ඇඟවීමක් - ‘අර්නබ්’ සුළි කුණාටුව ප්රබල වෙයි
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය සහ දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශ සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (27) පෙරවරු 8.00ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 12ක කාලය සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බටහිර - මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ‘අර්නබ්’ ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්රබල සුළි කුණාටුවක් බවට පත්ව ඇති අතර, අද (27) අලුයම 2.30 වන විට එය කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සුළි කුණාටුව අද පස්වරු 5.30 දක්වා බටහිරට බරව වයඹ දෙසටත්, ඉන් අනතුරුව වයඹ දෙසටත් ගමන් කර හෙට (28) පෙරවරු 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට පුරෝකථනය කර තිබේ.
අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 140ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ද ඇති විය හැකිය. එම මුහුදු ප්රදේශවල රළ උස මීටර් 3ත් 4ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බැවින් මුහුද ඉතා රළු වීමේ අවදානමක් පවතී.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එම මුහුදු ප්රදේශවල දැනටමත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ප්රදේශ වෙත යාත්රා කරන ලෙස ද වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.