QR කේතයට අනුව තෙල් ගහන්නේ මෙහෙමයි..නැතිනම් වෙනදේ මෙන්න.

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Jul 23, 2022 11:58 PM GMT
Report

ඉන්ධන පිරවුම්හලකින් තෙල් ගන්නට ඉස්සර ඕනෑ වූයේ සල්ලි විතරය.

දැන් කෝටි ගණන් තිබුණත් තෙල් ලැබෙන්නේ නැත.

සල්ලි තිබුණාට මදිය. තෙල් ගහන්නට යන්න ඕනෑ නම් කිව්.ආර්. කෝඩ් එකක්ද රැගෙන යා යුතුය.

‘‘කිව්.ආර්. කෝඩ් ලෙසින් හැඳින්වෙන්නේ ජාතික ඉන්ධන බලපත්‍රයය.

මේ දිනවල ඉන්ධන පාරිභෝගිකයන්ට ඇති වී ඇති ගැටලුව වන්නේ කිව්.ආර්. ඇප් එකකින් හරියටම තෙල් ගන්නා ක්‍රමය දැන ගන්නටය.

ජාතික ඉන්ධන අවසර පත තවමත් නිල වශයෙන් ක්‍රියාත්මක වූයේ නැත.

ඉන් ඉන්ධන දීමට ඉකුත් 21 වැනිදා සිට කටයුතු සූදානම් කර තිබුණත් තාක්ෂණික දෝෂ හේතුවෙන් එය 25 වැනිදාට කල් ගියේය.

කෙසේ වුවත් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පිරවුම්හල් හයක නියමු ව්‍යාපෘතියක් ලෙස ඉන්ධන ලබාදීම පසුගිය 21 වැනිදා සිට 24 වැනිදා දක්වා දින හතරක කාලයකට කිරීමට නියමිතය.

මේ ක්‍රමයට අනුව වාහනයකට ඉන්ධන නිකුත් කරන්නේ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කමට අනුවය.

එකී දිනයන්ට අදාළ අංක ඛනිජ තෙල් සංස්ථාව විසින් දැනටමත් නිකුත් කර ඇත්තේය.

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසන් අංකය 0-1 හෝ 2 නම් අඟහරුවාදා හා සෙනසුරාදා දිනවලද 3,4 හා 5 යන අවසන් අංකවලට බ්‍රහස්පතින්දා හා ඉරිදා දිනවලද ඉන්ධන නිකුත් කෙරේ.

6, 7, 8, 9 යන අවසන් අංක සහිත වාහනවලට බදාදා සිකුරාදා සහ සඳුදා දිනවලදී ඉන්ධන ලබා ගත හැකිය.

එම අංක හිමි වාහන හිමියන් ඉන්ධන පිරවුම්හලට ගොස් තම ස්මාට් ජංගම දුරකතනයේ ඇති කිව්.ආර්. කේතය එය පරීක්ෂා කරන ඉන්ධන පිරවුම්හල් සේවකයාට පෙන්විය යුතුය.

මෙසේ කිව්.ආර්. කේතය පරීක්ෂා කිරීම සඳහා ඉන්ධන පොම්පය අසල සේවකයකු යොදවා ඇත.

එසේ එම සේවකයා වාහන හිමියාගේ ජංගම දුරකතනයේ ඇති කේතය පරීක්ෂා කිරීමෙන් පසුව ඔහුට ඉන්ධන ගැනීමට එදිනට සුදුසුකම් සපුරා තිබේද යන්න හෙළි කර ගත හැක.

එසේ සුදුසුකම් සපුරා ඇත්නම් පමණක් එම වාහනයට හිමි ඉන්ධන කෝටාව ලබා ගත හැක්කේය.

ඒ අනුව යම් අයකුට එක සතියකට ගත හැක්කේ එම සතියට නිශ්චිත වූ ඉන්ධන ප්‍රමාණය පමණි.

උදාහරණයක් ලෙස යම් වාහන හිමියකුට හිමි ලීටර් ප්‍රමාණය 10 ක් නම් ඔහු එම ඉන්ධන ප්‍රමාණය අදාළ සතියේ තමන්ට ඉන්ධන ගැනීමට නියමිතව ඇති දින දෙක තුළ ගත යුතුය.

එම සතිය තුළ ඉන්ධන ගැනීමට හැකියාවක් නොලැබුණොත් ඊළඟ සතියට එය ගැනීමට අවස්ථාව හිමි නොවෙයි.

එබැවින් ඒ සතියට අදාළ තෙල් ප්‍රමාණය එම සතිය තුළම ගත යුතු බව වන්නේය.

නැතිනම් ඉතිරි ප්‍රමාණය ලබාගත නොහැකිය.

ඉන්ධන ගත හැකි ප්‍රමාණය මෙම ජාතික ඉන්ධන බලපත්‍රය හා යෙදවුමෙන් පෙන්නුම් කරන අතර යම් පුද්ගලයෙක් සඳුදා දිනයේ තෙල් ලීටර් 05 ක් ගත්තේ නම් ඔහුට ඉන්ධන ගැනීමට ඇති අනෙක් දිනයේ ගත හැක්කේ ඉන්ධන කෝටාවෙන් ඔහුට හිමි වී ඇති ඉතුරු ඉන්ධන ප්‍රමාණය පමණි.

ත්‍රිරෝද රථවලට, යතුරුපැදිවලට සහ වෙනත් වාහනවලට ලැබෙන ඉන්ධන කෝටාව ඒ ඒ වාහනය අනුව වෙනස්වේ.

මෙම ඉන්ධන කෝටාවට අනුව යම් පුද්ගලයකුට තමන්ගේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් මුලින්ම තමන්ට හිමි ඉන්ධන ප්‍රමාණයෙන් කොටසක් හෝ ගත යුතුය.

ඔහුට තමන්ගේ ප්‍රදේශයේ පිරවුම්හල මගහැර වෙනත් ඉන්ධනහලකින් කෝටාවෙන් හිමිවන සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණය ලබාගත නොහැකිය.

මෙම බලපත්‍රයට අනුව තම ප්‍රදේශයේ පිරවුම්හලකින් පළමුවතාවට යම් අයෙක් ඉන්ධන ගත්තොත් ඔහුට කෝටාවෙන් හිමි අනෙක් ඉන්ධන ප්‍රමාණය ඕනෑම ප්‍රදේශයක ඉන්ධන පිරවුම්හලකින් ගැනීමට කිසිදු බාධාවක් නොමැත.

මේ වන විට මෙම කෝටාවේ සඳහන් වන්නේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් නියම කළ ඉන්ධන ලීටර් ප්‍රමාණය පමණි.

ඒ අනුව යතුරුපැදියකට දෙන්නේ රුපියල් 1500ක පෙට්‍රල් ප්‍රමාණයකි.

ත්‍රිරෝද රථයකට දෙන්නේ ලීටර් 4 ක පමණ ප්‍රමාණයකි.

ඒ රුපියල් 2000 කටය. මෝටර් රථ, ලොරි රථ ඇතුළු අනෙකුත් වාහන සඳහා දෙන්නේ ලිටර් 15 ක පමණ ප්‍රමාණයකි.

ඒ රුපියල් 7000 කි. ජාතික ඉන්ධන බලපත්‍රය රටපුරා ක්‍රියාත්මක වනතුරු පමණක් සතියකට පමණ කාලයක් මෙම සීමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කරනු ලැබේ.

කෙසේ නමුදු වාහන ලියාපදිංචි කිරීමේ අංකයේ අවසාන ඉලක්කම අනුවද සියලුම සිපෙට්ටකෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම 25 වැනිදා තෙක් අඛණ්ඩව සිදුවෙයි.

එම අංක අනුව දින දෙකක් වාහන හිමියන්ට හිමිවෙයි.

කොළඹ නගරයේ පිරවුම්හල් හය හැරුණු කොට අනෙක් කිසිදු පිරවුම්හලකින් කිව්ආර්. කේතයට අනුව ඉන්ධන නිකුත් නොකරන බැවින් එක් දිනයකදී තෙල් ලබාගන්නා කෙනෙක්ට තමන්ට හිමි අනෙක් දිනයේද තෙල් ලබා ගැනීමට මෙම දින කිහිපය තුළ පමණක් අවස්ථාව හිමිවෙයි.

25 වැනිදායින් පසු එම අවස්ථාව නොලැබෙන අතර එදිනෙන් පසු සියලුම ඉන්ධන පරිභෝගිකයෝ ඉන්ධන ලබාගත යුත්තේ කිව්.ආර්. කේතයට අනුව පමණි.

කිව්.ආර්. කේතය අනුව තෙල් ලැබෙන කතාන්දරය සිදුවන්නේ එසේය.

නමුත් තෙල් ගැනීමට අවස්ථාව නොලැබී ඇති බොහෝ පිරිසක් පිළිබඳවද ගම්බද ප්‍රදේශවලින් වාර්තා වේ.

ඒ මෙම ජාතික ඉන්ධන බලපත්‍රයේ ලියාපදිංචි වීමට හෝ අවශ්‍ය පහසුකම් නොමැති වාහන හිමියන්ය.

බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇති පොදු ගැටලුවක් වන්නේ මෙම යෙදවුමේ ලියාපදිංචි වීමට තමන්ට ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැති කමය.

ස්මාර්ට් ජංගම දුරකථනයක් නොමැති නම් තමන්ගේ පවුලේ හෝ තම දරුවන්ගේ හෝ දුරකථනයෙන් මෙහි ලියාපදිංචි කර ගන්නා ලෙස රජය ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

නමුත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි අනුරාධපුර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙක් පැවසුවේ ලියාපදිංචි වීම නම් කාගේ හෝ දුරකථනයකින් කළ හැකි වුවත් තෙල් ගැනීමට ඉන්ධන පිරවුම්හලට පැමිණෙන විට ජංගම දුරකථනය රැගෙන එන්නේ කෙසේ දැයි කියාය.

එසේ බලන විට නාගරික මැද පන්තියට එතරම් දුරකථන ප්‍රශ්නයක් නොවූවාට වැඩිහිටි පරපුරට ද මේ ක්‍රමය ප්‍රශ්නයක් වනු ඇත්තේය. ඒ ඉංග්‍රීසි උගත් වුවත් ඇතැමුන්ට තාක්ෂණික දැනුමක් නැති බැවිනි.

තවමත් ඈත පළාත්වල ජංගම දුරකථනවලට සංඥා පහසුකම් නොමැත.

ඒ පළාත්වල දරුවන් ඔන්ලයින් අධයාපනය කරන්නේ උස ගස් උඩට නැගය.

එවැනි ප්‍රදේශවල සිටින ත්‍රිරෝද රථ රියැදුරන්, ලොරි, ට්‍රැක්ටර් ඇතුළු වාහන හිමියෝ මේ හේතුවෙන් පත්ව ඇත්තේ අලි අමාරුවකටය.

අවස්ථා ගණනාවකදීම මෙම යෙදවුමේ ලියාපදිංචිවීමට ඔවුන් කටයුතු කළ ද සංඥා ගැටලු හේතුවෙන් එම උත්සාහය ව්‍යාර්ත වී ඇත.

මෙම පුද්ගලයන්ගේ අසරණකමින් ප්‍රයෝජන ගන්නවුන් පිරිසක් ද මේ අතර සිටිති. ඔවුන් කරන්නේ මෙම බලපත්‍රය ලියාපදිංචි කර දී අසාධාරණ ලෙස මුදල් ඉපයීමය.

තවත් පළාත්වල ඉන්ධන පාරිභෝගිකයෝ තම නොදැනුවත්කම නිසා එසේ ලියාපදිංචි වී ගන්නා කිව්.ආර්. කේතය කඩදාසිවලට ගනී.

තවත් පිරිසක් එය ලැමිනේටින් කර තිබේ. ඉන්ධන පිරවුම්හල්වල මෙම කේතයන් පරීක්ෂා කරනු ලබන ජංගම දුරකතනයේ එසේ කඩදාසි හෝ ලැමිනේටින් කළ කිව්.ආර්. කෝඩ් එම දුරකථන හරහා ස්කෑන් කිරීමේ ගැටලුවක් තිබේ.

ඉන්ධන පිරවුම්හල් හිමියන් නම් කියා සිටින්නේ ජංගම දුරකථන ඉන්ධන පිරවුම්හල්වල ක්‍රියාත්මක කිරීම භයානක තත්ත්වයක් බවය.

ඊට හේතුව තෙල් පොම්ප කරමින් සිටියදී ජංගම දුරකථනයට එන ඇමතුමකින් විදුලිය ආරෝපණය වී ගිනි ගැනීමට හැකියාවක් ඇති නිසාය.

එබැවින් ඉන්ධන පිරවුම්හල්වල පාරිභෝගිකයන් දැනුවත් කරමින් ස්ටිකර් පවා අලවා ඇත්තේ පිරවුම්ල තුළ ජංගම දුරකථන භාවිත නොකරන ලෙසය.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් මෙසේ කියා සිටියේය.

‘‘නිට්ටඹුවේ ඉන්ධන පිරවුම්හලක් ගිනි ගත්තා ෆෝන් එකක් නිසා. ඒකයි අපි කියන්නේ මේක ප්‍රායෝගික නැහැ කියලා.’’

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය කියන්නේය. ජාතික ඉන්ධන බලපත්‍රය පුරවා ලියාපදිංචි වීමේදී බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් වන්නේ වාහනයේ අංකය සහ චැසි අංකය නොගැළපීමය.

ඊට හේතුවන්නේ මෝටර් රථ ප්‍රවාහන කාර්යලයේ ඇති තොරතුරු හා කිව්.ආර්. කේතය අයදුම් කරන පුද්ගලයා යොමු කරන තොරතුරු නොගැළපෙන බව කිව්.ආර්. කේතයේ පෙන්වීමය.

අනික් අතට පැරණි වාහනවලට ඇත්තේ අතින් ලියූ වාහන ලියාපදිංචි සහතික පත්ය. (පොත) මේවා තවමත් පරිගණකගත කර නැති නිසා එවැනි වාහනවලට කිව්.ආර්. කේතය ලබා ගැනීමේ ප්‍රශ්නයක්ද මතුවී තිබේ.

මේ නිසා බොහෝ දෙනෙක්ට ජාතික ඉන්ධන බලපත්‍රය පුරවා අදාළ කේතය ගැනීමට නොහැකි වී තිබේ.

එමෙන්ම පැරණි ‘‘ශ්‍රී’’ අකුර සහිත වාහන සේම පැරණි වාහන අංක ඇතුළත් කළ යුතු ක්‍රමවේදය පිළිබඳ තවමත් ජනතාව හරි හැටි දැනුම්වත් වී නොමැත.

කෙසේ නමුදු පෙට්‍රල්, ඩීසල් ඕනෑ වන්නේ වාහනවලට පමණක් නොවේ.

ජෙනරේටර්, ගස් කපන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර, පොළොව තලන යන්ත්‍ර, සුනාමි භූතයා ඇතුළු කෘෂිකාර්මික හා කාර්මික උපකරණ ක්‍රියාත්මක කිරීමට තෙල් ඕනෑය.

මෙම යන්ත්‍රවලින් එදා වේල හම්බුකර ගන්නා දහස් ගණනක් සිටිති. වාහන හිමියන්ට කොහොම හරි ඉන්ධන ලැබුණත් මේ පිරිසට තෙල් ලැබෙන්නේ නැති තරම්ය.

ඉන් ඔවුහු නන්නත්තාර වී සිටිති. කෙසේ නමුදු ඉන්ධන නිකුත් කිරීමේදී පිළිගත්, ජනතාවට සරලව අවබෝධ කර ගත හැකි වැඩපිළිවෙළක් අවශ්‍ය බව තර්කයක් නැත.

එනමුත් මේ කිව්ආර්. කේතය නම් දැනට පේන හැටියට එකක් කඩතොලු වහගන්නට ගොස් දෙකක් කඩතොලු හදාගත් ඉඳුරුවේ ආචාරියාගේ වැඩක් සේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now