අහක යන නඩු කන්නේ නැතිව ඉඩමක් ගන්න කලින් "පෙළපත"බලන්න.

Land Sailing
By Wayomi Sep 19, 2022 07:04 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඉඩම් මිලදී ගැනීම් ගැන ගොඩක් දෙනෙක් උනන්දුයිනේ. හැබැයි ආවට ගියාට ඉඩමක් මිලදී ගන්න එක එතරම් සුදුසු දෙයක් නම් නෙවෙයි. අද කාලේ ඉඩම් මිලදී ගැනීමේදී විශේෂයෙන්ම ඉඩමේ නිරවුල් බව පිළිබදව හොඳින්ම සැලකිලිමත් විය යුතු වෙනවා.

ඉඩමක් මිලදී ගැනීමක් සම්බන්ධව ඔප්පු ලිවීමේදී විශේෂයෙන්ම ඉඩමේ පෙළපත සැලකිළිමත් විය යුතුයි. ඒ කියන්නේ, දාල ඉඩම අවම වශයෙන් වසර 35ක් වත් දීමනාකරුවන් විසින් නිරවුල්ව භුක්ති විඳලා තියෙන්නේ ඕන.

ඒ වගේම ඔබ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්‍යාලයෙන් නොතාරිස්වරයා විසින් පෞද්ගලිකව පරීක්ෂා කර හෝ පත් ඉරු වල සහතික පිටපත් ලබාගෙන පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවමය වසර 35 කට යටත්ව ඉඩමෙහි පෙළපත නිරවුල් කරගත යුතුයි.

ඉඩමෙහි පෙළපත පරීක්ෂා කිරීමේදී මූලිකවම තිබිය හැකි අවහිරතා.


අවලංගු නොකරන ලද උකස්

? පත් ඉරු පරීක්ෂාවේදී යම් කාල සීමාවක අවලංගු නොකරන ලද උකස් ඔප්පුවක් තිබුණහොත් එකී උකස අවලංගු කරගන්නා තුරු ඉඩම නිරවුල් වෙන්නේ නැහැ.

? උකස් ඔප්පුවේ මුල් පිටපත සොයාගත නොහැකි නම් හෝ එකී උකස වසර 10ක් ඉකුත් වී ඇත්නම් හෝ නොතාරිස්වරයා සෑහීමකට පත් වේ නම් අදාල උකස වර්තමාන හිමිකරු විසින් ප්‍රකාශන ඔප්පුවක් මාර්ගයෙන් අවලංගු කිරීමේ හැකියාවක් තිබෙනවා.


කල් ඉකුත් නොවූ කේවියට්

? කල් ඉකුත් නොවූ කේවියට් ලියාපදිංචි වී ඇත්නම් ඉඩමක් මිලදී ගැනීම සුදුසු නැහැ.

? ලේඛන ලියාපදිංචි කිරීමේ පනතේ 32(5) වගන්තිය අනුව කේවියට් තහනමක් දැමූ ඉඩමකට ඔප්පුවක් ලියාපදිංචි වීමට දමා දින 30 ක් ඇතුලත කේවියට් තහනම්කරුට එකී පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගත හැක.

? එසේම කිසිම අයිතියක් නොමැති ඉඩමකට කේවියට් තහනමක් දමා ඇත්නම් එවන් පුද්ගලයෙකුට විරුද්ධවද ඉඩමේ නියම හිමිකරුට සිවිල් නඩුවක් පවරා කේවියට් තහනම අවලංගු කර ගැනීමට සහ වන්දි ලබා ගැනීමටද හැකියාව පවතිනවා.


කේවියට් තහනම යනු ඉඩමක් සම්බන්ධව යම් අයිතිවාසිකමක් හෝ එසේත් නොමැති නම් වෙනත් යම් සම්බන්ධතාවයක් දක්වනු ලබන පුද්ගලයකු විසින් එකී ඉඩම සම්බන්ධයෙන් කේවියට් දැන්වීමක්,

ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව එකී ඉඩම සම්බන්ධයෙන් වෙනත් අයිතිවාසිකම් දරන හෝ සම්බන්ධතාවක් දරන තැනැත්තකු විසින් යම් ඔප්පුවක් ලියා පදිංචි කිරීම සඳහා ඉදිරිපත් කරන්නේ නම් එවිට එය ලියාපදිංචි කිරීමට පෙර ඒ බව තමා වෙත දන්වන ලෙස ඉඩම් රෙජිස්ට්‍රාර් වරයාට කරනු ලබන දැන්වීම මෙම කේවියට් තහනම ලෙස හඳුන්වනු ලැබේ.


 ලිස්පෙන්ඩන්ස්

? නඩුවක් පවතින බවට දැක්වෙන ලිස්පෙන්ඩන්ස් පත් ඉරු වල සඳහන් ඇත්නම් එවන් විටකද එකී ලිස්පෙන්ඩනය අවලංගු වන තෙක් ඉඩම මිලදී ගැනීම සුදුසු නැහැ.

? ප්‍රධාන වශයෙන් බෙදුම් නඩු, උකස් නඩු සහ තෑගි ඔප්පු අවලංගු කිරීම සම්බන්ධ නඩු වලදී මූලික සාධකයක් වන්නේ ලිස්පෙන්ඩන්ස් ලියාපදිංචිය වන අතර ඊට අමතරව ඇතැම් ඉඩම් නඩු වලදීද පාර්ශවයන්ගේ ඉල්ලීම මත ලිස්පෙන්ඩන්ස් ලියාපදිංචි කරනු ලැබේ.


තහනම් නියෝග දැන්වීම් (seizure notice)

? උසාවි නියෝගයක් මත තහනමට ගත්බව දැක්වෙන තහනම් නියෝග දැන්වීම් ලියාපදිංචිව ඇති ඉඩම් මිලදී ගැනීම සුදුසු නැත.


පූර්වතා දැන්වීම්

? මූලික්වම පූර්වතා දැන්වීම් ලියාපදිංචි කරනුයේ බැංකු හෝ ආයතන වලින් ණය ලබාගැනීමෙදී එකී බැංකුවෙන් හෝ ආයතනයෙන් වන අතර එක උකසක් පැවතිය හැකි බවට නිගමනයක් වන හෙයින් එය තහවුරු කරගන්නා තෙක් මිලදී ගැනීම සුදුසු නැත.


? එලෙස අවහිරයන් එකක් හෝ කීපයක් පත් ඉරු වල සඳහන් ව ඇත්නම් එම ඉඩම නිරවුල් ඉඩමක් ලෙස සැලකිය නොහැකයි.

? සමහර අවස්ථා වලදී ඉඩමට අදාල පැරණි පත් ඉරු දිරාපත් වී ඇත්නම් නොතාරිස්වරයෙකු වශයෙන් සේවාදායකයන් හට ඉඩම් හිමිකම් රක්ෂණයක් (Title insurance) ලබාගන්නා ලෙසට උපදෙස් ලබදෙනවා.


එවන් රක්ෂණ වර්ග කිහිපයක්.


1. ගැණුම්කරුගේ හිමිකම් රක්ෂණය

? ඉඩමේ නිරවුල් භාවය සම්බන්ධව යම් ගැටලුවක් ඇත්නම් ගැණුම්කරු හට හිමිකම් රක්ෂණයක් ලබාගත හැකි අතර යම් දිනයක තෙවන පාර්ශවයක් විසින් ගන්නා නීතිමය පියවරකදී රක්ෂණ ආයතනය විසින් ගැණුම්කරු හට එකී අලාභ ගෙවීමට බැදී සිටියි.

2. හිමිකරුගේ හිමිකම් රක්ෂණය

? ඇතැම් ඉඩම් හිමියන් තම ඉඩමෙහි හිමිකාරිත්වය රක්ෂණය කිරීම මගින් ආරක්ෂාව තහවුරු කරගනියි.

3. උකස්කරුගේ හිමිකම් රක්ෂණය

? ඉඩමක් උකස් කිරීමේදී නිරවුල් භාවය සම්බන්ධව අඩුපාඩු ඇත්නම් බොහෝ අවස්ථාවලදී උකස්කරුගේ හිමිකම් රක්ෂණයක් ලබාගනියි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW