පොලිසිය විසින් ඔබට අසත්‍ය චෝදනා මත නඩු පැවරුවොත් මොකද කරන්නේ?
ශ්‍රී ලංකාවේ පොලිසියේ ක්‍රියාකලාපයන් නිසා රටේ ජනතාව නම් ඉන්නේ එතරම් පැහැදීමකින් නෙවෙයි. ඇතැම් පොලිස් නිලධාරීන් නිසා බොහෝ පිරිසක් අසාධාරණයට ලක් වන අවස්ථා ද එමටයි. පුද්ගලයන් නීතිවිරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව අසත්‍ය කරුණු මත නඩු පැවරීම පිළිබඳව එල්ල වන චෝදනා සමාජයේ වැඩි කතාබහට ලක්වී තිබෙනවා. ඉතින් මේ කතා කරන්න හදන්නේ එවැනි අවස්ථා වලදී ඔබ නිවැරදි නම් ඔබේ සාධාරණත්වය වෙනුවෙන් නැගී සිටින්නේ කොහොමද කියලා.
මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.
එවැනි සිදුවීමක් සිදු වී මාසයක් ඇතුළත මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ යුතුයි. එය www.hrcsl.lk වෙබ් අඩවිය හරහාත් පැමිණිලි කළ හැකි අතර වැඩි විස්තර දැනගැනීමට 1996 hotline එකට හෝ 0112505580,0112505581 හෝ 0112505582 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාගන්න පුළුවන්.
ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම.
- ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමටද හැකියි. අදාළ සිදුවීම සිදු වූ දිනයේ සිට මසක් ඇතුළත් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ යුතුයි. ඔබ මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කර ඇත්නම් එම කාලය ගණනය කරනු ලබන්නේ කොමිසමේ තීන්දුවේ දින සිටයි.
- ඒ වගේම ඔබ රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් ඇප ලැබී බන්ධනාගාරයෙන් පැමිණි දින සිට මාසයක කාලය ගණනය කරනු ලබයි.
- පොලිස් නිලධාරින් විසින් හේතු රහිතව අත් අඩංගුවට ගැනීම පමණක් නොව හුදු සැකය මත වුවද පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම නීතිවිරෝධී හා මුලික අයිතිවාසිකම් කඩ කිරීමකි.
ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම.
පොලිස් නිලධාරින්ට හෝ පොලිස් සේවයට එරෙහි පැමිණිලි භාරගෙන විභාග කර ඊට අදාල වන නීතීන් යටතේ සහන සැලසීම මෙම කොමිසමේ අරමුණයි. මෙම කොමිසමට ද ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා npc.gov.lk වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමයට නාමිකව හෝ නිර්නාමිකව වුවද පැමිණිලි කිරීමට අවස්ථාව ලැබෙනවා .ඒ වගේම අවස්ථාවක 1960 hotline එකට හෝ 0112166500 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්නත් පුළුවන්.
පොලිස්පතිතුමාට පැමිණිලි කිරීම.
එහෙමත් නැත්නම් ඔබට සෘජුවම පොලිසපතිතුමාට පැමිණිලි කරන්න පුළුවන්.ඒ සදහා www.police.lk වෙබ් අඩවියේ "මහජන පැමිණිලි පොලිසපතිට කියන්න" .ඊට අමතරව "පොලිස්පති සහන මැදිරිය" ගොස් වුව ද පැමිණිලි කළ හැකියි.
දිසා අධිකරණයේ වන්දි ඉල්ලා නඩු පැවරීම.
ඔබට එරෙහිව අසත්‍ය චෝදනා මත පවරන ලද නඩුව අවසානයේ ඔබ නිදොස් කොට නිදහස් කරනු ලැබුවහොත් පොලිස් නිලධාරින්ගෙන් වන්දි ලබා ගැනීම සදහා දිසා අධිකරණයේ නඩු පැවරිමේ හැකියාව පවතිනවා. මෙයට පදනම් වන්නේ "ද්වේෂ සහගත නඩු පැවරීම"(Malicious Prosecution ) නම් දීලික්ත නීති සංකල්පයයි.
එවැනි නඩුවකදී ඔබ පහත සදහන් කරුණු ඔප්පු කළ යුතුයි.
* විත්තිකරවන් පැමිණිලිකරුට එරෙහිව නඩුවක් පවරා තිබීම.
* එම නඩුව පැමිණිලිකරුගේ වාසියට තීන්දු වී තිබීම
* විත්තිකරවන් සාධාරණ හෝ යුක්තිසහගත හේතුවක් නොමැතිව නඩු පවරා තිබීම.
* ද්වේශ සහගතව නඩු පවරා තිබීම
* නඩු පැවරීම නිසා පැමිණිලකරුට හානියක් සිදු වී තිබීම
පොලිස් ආඥාපනතේ 88 වගන්තිය අනූව මෙවැනි නඩුවක් ,ඔබට එරෙහිව අසත්‍ය චෝදනා මත පවරන ලද නඩුව අවසන් වී මාස 03ක් තුළ පැවරිය යුතු අතර මාස 02 ක් තුළ නීතිපතිවරයාට ද දැනුම්දිය යුතුයි.