අර්බුදයෙන් ගොඩඒමට කළ යුතු දේ ජනපති කියයි
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඉදිරි වසර කිහිපයේදී අන්තර්ජාතික සහ අන්තර් කලාපීය සහයෝගිතාව අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පස්වන බිම්ස්ටෙක් සමුළුව අමතමින්ය.
"බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාලබොක්ක ආශ්‍රිත රටවල සමුළුව" හෙවත් පස්වන බිම්ස්ටෙක් සමුළුව පසුගිය 28 වනදා ආරම්භ වුණි. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර සමුළුව පැවැත්වුණේ කොළඹ BMICH පරිශ්‍රයේදීය.
පෙරේදා දිනයේදී බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමත්, ඊයේ (29) දිනයේදී සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමත් පැවැත්වුණි. බිම්ස්ටෙක් සමුළුවේ තුන්වන හෙවත් අවසන් දිනය වන අද බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන සාමාජික රටවල රාජ්‍ය නායකයින් සමුළුවට සහභාගී වුණි.
ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද දිනයේ සමුළුවේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවේය.
"වසංගතය ලොව සෑම රටකටම දැඩි බලපෑම් එල්ලකළා. බොහෝ රටවල් ආර්ථික, සමාජීය හා දේශපාලන වෙනස්වීම්වලට ලක්වුණා. මේ අගාධයට යන ආර්ථිකයෙන් වැඩිම බලපෑම එල්ලවුණේ සංවර්ධනය වෙමින් පවතින රටවලට. මේ අර්බුදයෙන් ගොඩඒමට නම් ඉදිරි වසර කිහිපයේදී, අපිට අන්තර්ජාතික සහ අන්තර් කලාපීය සහයෝගිතාව අත්‍යවශ්‍යයි.
වසංගතයෙන් ඇති වූ මේ ආර්ථික තත්ත්වය, අනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවලට වගේම, ශ්‍රී ලංකාවට එල්ල කළේ දැඩි බලපෑමක්. වෛරසය පැතිරයාම පාලනයට පැනවූ සීමා හේතුවෙන් අපේ රටේ සෑම ක්ෂේත්‍රයකටම දැඩි අයහපත් බලපෑම් එල්ලවුණා.
සංචාරක ක්ෂේත්‍රයේ බිඳවැටීම, විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ප්‍රේෂණ නොලැබීම සහ ඉහළ යන ගෝලීය උද්ධමනය වගේම, කලක පටන් අප ලබාගෙන තිබූ ණය බර ශ්‍රී ලංකාව තුළ පවතින වත්මන් ආර්ථික අභියෝගයට හේතු වුණා. මට විශ්වාසයි, අපේ රටේ ජනතාවගේ අද්විතීය ධෛර්ය හා කලාපීය සහ අන්තර්ජාතික රටවල සහයෝගයෙන්, මේ අසීරු කාලය පසුකිරීමට ශ්‍රී ලංකාවට හැකිවේවි. ආර්ථිකය වේගයෙන් ප්‍රකෘති තත්ත්වයට ගෙනඒමට හැකිවේවි."
මෙහිදී අදහස් දැක්වු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා,
"කලාපීය ප්‍රවාහන සම්බන්ධීකරණය සම්බන්ධ බිම්ස්ටෙක් සැලසුමට අද අපි සහයෝගය පළකළා. ඊට සහාය දැක්වීම සම්බන්ධයෙන් මම ආසියානු සංවර්ධන බැංකුවට ස්තුතිය පළකරනවා. බෙංගාලබොක්ක සාගර කලාපය තුළ වෙරළාශ්‍රිත පරිසර පද්ධතියක් පිහිටුවීම සම්බන්ධයෙන් නීති රාමුවක් කඩිනමින් සකස්කිරීම මෙහිදී අතිශය වැදගත්.
එමෙන්ම කලාපය තුළ ත්‍රස්තවාදය, ජාතීන් අතර සිදුකරන අපරාධ සහ සාම්ප්‍රදායික නොවන තර්ජනවලට මුහුණදීම සඳහා වන නීති රාමුවක් පිහිටුවීමට අපි තීරණය කළා. බෙංගාල බොක්ක කලාපය, සහයෝගයේ පාලම බවට, සමෘද්ධියේ පාලම බවට සහ සාමයේ පාලම බවට පත්කරන්න කාලය දැන් එළැඹිලා තියෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |