ඇටෝර්නි බලපත්‍රය කියන්නේ මොකක්ද?

Law and Society Trust Sri Lanka
By Wayomi May 27, 2022 04:47 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

එක එක බලපත්‍ර ගැන කතා කරද්දී ඔබටත් ඇහිලා ඇති ඇටෝර්නි බලපත්‍රය ගැන. මොකක්ද ඇත්තටම මේ ඇටෝර්නි බලපත්‍රය කියන්නේ. කිසියම් පුද්ගලයෙක් යම්කිසි අධිකරණ බල සීමාවකින් බැහැරව සිටින විට (උදාහරණයක් විදිහට කියනවා නම් දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවක) එම අධිකරණ බල ප්‍රදේශයේ යම් නීති කෘත්‍යක් (කාර්යයක්) වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වන අවස්ථාවක තමා විසින් සිදුකළ යුතු වන්නාවූ එකී නීති කෘත්‍යයන් ඉටු කිරීම සඳහා වෙනත් කෙනෙකුට තමා සතු බලය පැවරීමේ සාධනපත්‍රයක්. ඒ කියන්නේ යම් කෙනෙකු රටින් බැහැරව තම අධිකරණ කලාපයෙන් බැහැරව සිටින විට ඒ පුද්ගලයා විසින් කළ යුතු වන නීත්‍යානුකූල කටයුතු ඉටු කිරීමට වෙනත් තැනැත්තකුට බලය පැවරීම කට වචනයෙන් පැවරීම ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා නීතියෙන් නියම කර ඇති ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි.

යම් කිසි හේතුවකින් අදාළ ඇටර්නි බලය පවරන්නා (ඇටර්නි අධිපති) එම අධිකරණ බල සීමව තුල සිටින්නේ නම් බලය ලද පුද්ගලයාට (ඇටර්නි බලපත්‍රලාභියා) එම බලය ක්‍රියාත්මක කළ නොහැකියි.   

මෙම ඇටර්නි බලපත්‍රය නොතාරිස්වරයකු විසින් සහතික කළ යුතු අතර ඇටර්නි බලපත්‍රලාභියා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් එහි ඇති නියමයන් නිසියාකාරව ක්‍රියාත්මක කරන බවට අත්සන් තැබිය යුතුයි.

ප්‍රධාන වශයෙන් ඇටර්නි බලපත්‍ර වර්ග දෙකක් දකින්න ලැබෙනවා.

1. සාමාන්‍ය ඇටර්නි බලපත්‍රය

2. විශේෂ ඇටර්නි බලපත්‍රය  


සාමාන්‍ය ඇටර්නි බලපත්‍රය  

ඉහත සඳහන් කර ඇති පරිදි යම් පුද්ගලයෙකු ලංකාවෙන් හෝ නැතිනම් යම් අධිකරණ බල ප්‍රදේශයකින් බැහැරව සිටින අවස්ථාවක එම හේතුව නිසා තමා විසින් සිදුකළ යුතු වන්නා වූ යම් නීත්‍යානුකූල කාර්යයක් කිරීමට නොහැකි වන අවස්ථාවකදී එම කාර්යයන් ඉටු කිරීම සඳහා වෙනත් පුද්ගලයකුට බලය ලබාදෙන ලබන ලේඛනයයි.


විශේෂ ඇටර්නි බලපත්‍රය

කිසියම් නිශ්චිත කාර්යයක් සිදු කිරීමට බලය පැවරීමයි. ඒ අනුව මෙම විශේෂ ඇටර්නි බලපත්‍රය මගින් යම්කිසි පුද්ගලයකු විසින් විදේශගතව සිටින අවස්ථාවක ඔහුට අයත් දේපළක් විකිණීමට එසේත් නැතිනම් කිසියම් ගිවිසුමකට ඇතුළත් වීමට මෙම විශේෂ ඇටර්නි බලපත්‍රය යොදා ගන්නවා.


- සාමාන්‍යයෙන් ඇටර්නි බලපත්‍රයක් ලියාපදිංචි කරන්නේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වන අතර ඒ සඳහා මුල් ඇටර්නි බලපත්‍රය ද එහි සහතික කළ පිටපතක් ද ඇටෝර්නි බලකරු ගේ දිවුරුම් ප්‍රකාශයක් ද භාර දිය යුතු වෙනවා. ලියාපදිංචි ගාස්තුව වශයෙන් 1500/- පමණ ලියාපදිංචි ගාස්තුව ද මේ සඳහා වැය වන අතර රුපියලක අවලංගු කල මුද්දරයක් ඇටර්නි බලපත්‍රයේ ඇලවීම සිදු කළ යුතුයි.

- විදේශ රටකදී සකස් කර අත්සන් කළ ඇටර්නි බලපත්‍රයක් ලංකාවට ලැබී දින 30ක් තුළදී දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඉන්පසු මුද්දර ගාස්තුද ගෙවා ඒ බවට මුද්‍රා තබා ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තුමේන්තුව වෙත භාර දෙන්න ඕන.

- හැබැයි ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ යම් ඇටර්නි බලපත්‍රයක් මගින් ප්‍රදානය කරන ලද බලයක් තවත් කෙනෙකුට පැවරීමක් සිදු කළ නොහැකියි.

- ඒ වගේම ඇටර්නි බලපත්‍රය අවලංගු කිරීමේදී ද ඒ බව ප්‍රකාශ කරමින් දිවුරුම් ප්‍රකාශයක් රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ ලියාපදිංචි කිරීමක් කළ යුතු අතර එම ඇටර්නි බලපත්‍රය අවලංගු කරනු ලබන බවට ගැසට් පත්‍රයේ පළ කිරීමක් සහ තෙවතාවක් දිනපතා පළවන පුවත්පතකද භාෂා ත්‍රිත්වයෙන්ම පළ කළ යුතු වෙනවා.


ඇටෝර්නි බලපත්‍ර සම්බන්ධ නෛතික ප්‍රතිපාදන 1902 අංක 4 දරණ ආඥා පනත හරහා දැක ගත හැකිවේ. මෙම ආඥා පනත 1913 අංක 09, 1939 අංක 33 සහ 1978 අංක 23 යන පනත් වලින් සංශෝධනය වී ඇත