අලුත් දින දර්ශනයක් නිර්මාණය කිරීම ගැන දැනුම් දීමක්..සියල්ල වෙනස් වෙයි?..

American Express World
By Aruna Apr 24, 2024 05:18 AM GMT
Report

චන්ද්‍රයාගේ ගමන් රටාව සම්බන්ධයෙන් වෙනම දින දර්ශනයක් සකස් කරන ලෙස ධවල මන්දිරය නාසා ආයතනයට දැනුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එය මෙම පියවරට එළැඹ ඇත්තේ සඳේ චලන රටාවත් සමග පෘථිවිය මත බලපාන එහි ගුරුත්ව ක්ෂේත්‍රය වෙනස්වීම සැලකිල්ලට ගනිමින් බවයි පැවසෙන්නේ.

ඒ අනුව, දිනකට මයික්‍රො තත්පර 58.7කින් කාලය වේගවත් වනබව සොයාගෙන තිබිණි.

මෙය එතරම් ප්‍රබල කාරණයක් ලෙස නොපෙනුණ ද අභ්‍යාවකාශ ක්ෂේත්‍රය තුළදී එහි බලපෑම ඉහළය බවයි පැවසෙන්නේ.

ධවල මන්දිරය විසින් මෙම අලුත් වේලාව නම්කර ඇත්තේ සම්බන්ධීකරණ චන්ද්‍ර කාලය යනුවෙන්. ‘‘අපගේ විශ්වයේ විවිධ ස්ථානවල පවතින ගුරුත්ව ක්ෂේත්‍රය වෙනස්.

එය එම ස්ථානවල කාලයට බලපානවා.’’ යැයි ස්කොට්ලන්තයේ රාජකීය අභ්‍යාවකාශ ආයතනයේ මහාචාර්ය කැතරින් හෙයිමාන් ප්‍රකාශ කර ඇත. සඳ මත ගුරුත්ව බලය අඩු බවත් ඒ හේතුවෙන් එහි කාලය ගෙවීයන ආකාරය ද වෙනස් බවයි, ඇය වැඩිදුරටත් පැවසුවේ.

දැනට ලොව පුරා ස්ථාන රාශියක පිහිටුවා ඇති පරමාණුක ඔරලෝසු ආධාරයෙන් එම ස්ථානවල කාලයෙහි වෙනස ගණනය කරනු ලබයි.

ඒ පරමාණුවල න්‍යෂ්ටියෙහි ශක්ති වෙනස සැලකිල්ලට ගනිමිනි. මෙම ඔරලෝසු මගින් ආසන්න නැනෝ තත්පරයට වෙලාව ගණනය කළ හැකි වන අතර, සඳ මත මෙවැනි ඔරලෝසුවක් ස්ථාපනය කළහොත් වසර 50 කාලයකින් එහි කාලය තත්පරයකින් වේගවත් වන බවටයි සොයාගෙන ඇත්තේ.

‘‘සඳ මත කාලය ගතවන්නේ පෘථිවිය මතදීට වඩා වෙනස් වේගයකින්.

ඔබ සඳ මතට ගියොත් ඔබේ හෘද ස්පන්දන වේගය ඒවාට ආවේණික වේගයකින් සිදුවීමට පටන් ගන්නවා.’’ යැයි නාසා ආයතනයේ සන්නිවේදන හා නියාමන විශේෂඥවරයකු වන කෙවින් කොගින්ස් පවසනවා.

චන්ද්‍ර කාලය පිළිබඳ පර්යේෂණය කළ එකම ආයතනය නාසා නොවන අතරං මීට පෙර යුරෝපීය අභ්‍යවකාශ කාර්යාංශය ද මේ පිළිබඳ අධ්‍යයනයක නිරත වී තිබේ.

ඒ සඳහා රටවල් අතර එකඟතාවක් ඇතිකර ගත යුතු වූ අතර, වර්තමානයේදී මෙම ව්‍යාපෘතියේ ක්‍රියා සිදුවන්නේ බර හා මිනුම් පිළිබඳ ජාත්‍යන්තර ආයතනය මගිනි.

නාසා ආයතනය මෙම චන්ද්‍ර කාලය නම්කර ඇත්තේ, සම්බන්ධීකාරක චන්ද්‍ර කාලය ලෙසයි.

කක්ෂය තුළදී ගුරුත්ව බලය අඩු හෙයින් වර්තමානයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙය භාවිත කරනු ලැබීම ද විශේෂත්වයක්.

එහි ප්‍රකාශකයකු පවසා ඇත්තේ, 2026දී නැවතත් මිනිසකු සඳට යැවීමට නාසා ආයතනය අපේක්ෂාවෙන් පසුවන බවත්, ඊට පෙර සම්බන්ධීකාරක චන්ද්‍ර කාලය හඳුන්වා දීම තම අරමුණ බවයි.